Tuesday, July 19, 2016

උරුමය - හත්වන කොටස


පෙරවරු අටට දේශණ ඇති සෑම උදෑසනකම හත වනවිට ආපනශාලාවට යාම අප පුරුද්දක් කරගත්තේ පළමු වසර දේශණ දෙක තුනකට ප්රමාද වී සහභාගී වී බැණුම් ඇසුවාට පසුය. හතයි තිහ පසු වන විට සිසුන්ගෙන් ආපනශාලාව පිරී යන නිසාත්, කෑම කෑමට මා බොහෝ වේලාවක් ගත කරන නිසාත් කලබලයකින් තොරව දේශණ වලට යා හැකි පරිදි වේලාව තීරණය කරගත්තේ අප තිදෙනාගේම කැමැත්තෙනි. තුන්වන වසර අවසාන කාළයේ දිනයක් වූ එදිනද සුපුරුදු පරිදි ආපනශාලාවට ඇතුළු වූ අපට "ෂ්..ෂූ" හඬක් ඇසුනේ පිටුපසිනි. අපි තිදෙනාම එකටම මෙන් පිටුපස හැරී බලද්දී සමීර අප වෙත එමින් සිටියේ සිනාසෙමිනි. වනවිට විශ්ව විද්යාලයෙන් පිටව සුපතල දුරකතන ග්‍රාහක සමාගමක රැකියාවක් කරමින් සිටි ඔහු සරසවියට ආවේ ඉදහිටකය.

"අදනං ඉර බටහිරින් පායයි වගේ" පවනි මනූජා වෙත ළංව රහසින් මෙන් පැවසුවත් සමීරගේ මුව කොණකට නැඟි සිනහවෙන් එය ඔහුට ඇහෙන්නට ඇති වග අනුමාන කළ හැකි විය.

"අර මොකද"

"නෑ ඉතින් දැන් හවසකටවත් කැම්පස් එක පැත්තෙ එන්නැති මිනිස්සු කුකුළා අතේ අරන් ඇවිත් ඉන්නවා දැක්කම පුදුම හිතෙන්නැද්ද"

"කුකුළා....කෝ කුකුළෙක් අතේ නෑනෙ" කියා දෑත් ඉදිරියට පෑ ඔහු මා අසලින් සිටගත්තේ හඬනගා සිනාසෙමිනි.

"ඇත්තටම ඇයි අයියෙ, හදිස්සියකටද" පවනි ඇසුවේ මට අසාගත නොහැකි වූ පැණයකි.

"හදිස්සියකට කවුද හලෝ කැම්පස් එන්නෙ ටොයිලට් එකකට දුවනවා  මිසක්" කියූ ඔහු ඊළඟට මා දෙස බලා "මොකද අද මේ ළමයා කතා නැත්තෙ ගොළු වෙලාද" ඇසුවේ හිස් මුදුනට අත තබා කොණ්ඩය අවුල් වන ලෙස අත එහෙ මෙහෙ කරමිනි.

"පිස්සුද හැටිද" එය ඔහුගේ ස්වභාවය නොවන බව දන්නා මනූජා ඇසුවේ නොදන්නා සම්බන්ධයක් අප අතර තිබෙනවාදැයි දැනගන්නට මෙන් දෑස් හකුළුවා මා දෙස බලමිනි.

"කාටද?. යාළුවාටද මටද"

"දෙන්නටම"

"ඔයාලගෙ යාළුවාට නං කොහොමද දන්නෑ. මටනං ඔය හිටපු ගමන් ටිකක් විතර පිස්සුත් හැදෙනවා"

"ඒකනං පේනවා. නැත්තං මේ ගෙවල්වල ඉදන් රස්සාවලට යන මහත්තුරු උදේ පාන්දර අපේ කැන්ටිමට දුවන් එයියැ කෑම කන්න" කියමින්ම මනූජා ආපනශාලාවේ වූ පෝලිමට එකතු වන්නට සූදානම් විය.

"තුන්දෙනත් එක්ක අත සෝදගෙන එන්න මං කෑම ගෙනාවා" කියූ සමීර අපට පෙර අත සෝදාගෙන මේසයක් මත තබා තිබූ කෑම බෑග් එකද ගෙන කෙළවරේ මේසයක් අසලට ගියේය.

"ලොකු තැනට දැනුත් ඉදලා හිටලා හරි පිං අතේ වැඩත් මතක් වෙනවා" කියමින් පවනි අප දෙදෙනාට පෙර අත සෝදා ගන්නද අප තිදෙනාම සමීර අසලට ගියේ එක්වරය.

"ඔයාලගෙ ගෙදර අද දානයක්වත් තිබ්බද අයියෙ"

"මං අද  ක්ලාස් එකක් කරා මේ ළඟ ගෙදරක ළමයෙකුට. ආයෙ ගෙදර ගිහින් එන එකත් තේරුමක් නෑනෙ. කඩේකට ගිහින් තනියෙන් කනවට වඩා මොනාහරි අරන් මෙහෙට ඇවිත් කැන්ටිමේ ඉන්න කාත් එක්ක හරි කන එක හොදයි හිතුනා"

"මේ උදේ පාන්දරත් ක්ලාස් කරනවද"

"පහට පටන් ගත්තෙ" කියමින් ඔහු කෑම පාර්සල් දෙකක් පොලිතීන් බෑගයක් තුලින් එලියට ගත්තේය.

"ඔයාලා කැමතිද නං දන්නෑ. මං ගෙනාවෙ ඉදි ආප්ප"

"අපිටනං ඉතින් දෙයියනේ කියලා රබර් ඇරෙන්න ඕනි දෙයක් බැහෙනවා අයියෙ. මෙන්න මේ කුමාරිහාමිට තමයි ඉතින් ඔය කෑම ප්රශ්ණ තියෙන්නෙ" කියූ මනූජා කෑම පාර්සල් දෙකෙන් එකක් අතට ගෙන මේසයේ සමීර වාඩි වී සිටි කෙළවරට විරුද්ධ කෙලවරට ගොස් වාඩි විය. පවනි ඊට යාබද අසුනක අසුන් ගත් නිසා මට සමීර අසලින් අසුන් ගන්නට හැකිවිය.

"භගිත් එක්ක එකට කෑම කනවට වඩා හොදයි කුකුල් පැටියෙක් එක්ක කන එක"  කෑම පාර්සලය දිගහරිමින්ම මනූජගේ කතාවට සිනාසුන ඔහු මගේ දෑස් සිය දෑසෙහි පටලවා ගත්තේය. මට කතා කරන්නට සිනාසෙන්නට තබා හුස්ම ගන්නට පවා අපහසු වූ වග ඔහුට වැටහෙන්නට ඇත. කතා නොකරම ඔහු කන්නට පටන් ගත්තේ එහෙයිනි.

"ඔයා දැන්වත් ඔය ටියුෂන් රස්සාව අතාරින්න අදහසක් නැද්ද අයියෙ" කෑම කන අතරතුරද පවනිට මතක්ව තිබුණේ මගේ හිතටද වද දෙන එහෙත් කිසිදාක ඔහුගෙන් ඇසිය නොහැකි ප්රශ්ණයකි.

" මං මුලින්ම ක්ලාස් පටන් ගත්තෙ කැම්පස් ආව දවස්වලම. ඒකත් වුණේ ලොකු අප්පච්චිගෙ උවමනාවට එයාගෙ යාළුවෙකුගෙ පුතෙකුට. ඊට පස්සෙ ළමයගෙ යාළුවෝ දෙතුන් දෙනෙක් සෙට් වුණා. හැමෝගෙම රිසල්ට් හොදයි. මුලින් ලොකු අප්පච්චිගෙ උවමනාවට පටන් ගත්තට  පස්සෙ පස්සෙ ක්ලාස් වැඩි කරගත්තෙ මගෙ උවමනාවට. මං චාටඩ් එග්සෑම් ඔක්කොම කරෙ මං හොයාගත්තු සල්ලි වලින්. අප්පච්චිලාගෙන් ඒවටත් සල්ලි ඉල්ලන්න බැරි නිසාමයි ක්ලාස් වැඩි කරගත්තෙත්"

"ඉතින් දැන් අයියා චාටඩ් කරලා ඉවරනෙ. අනෙක ජොබ් එකකුත් තියෙනවනෙ"

"මේ පටන් ගත්තු ක්ලාස් අතරමැද කොහොමටවත් නතර කරන්න බෑ පවනි. ලෙවල් කරන ළමයෙකුට උගන්නනවා කියන්නෙ ලොකු වගකීමක්. අවුරුදු දෙකක් වගකීම ගන්නවා කියලා ලිඛිත පොරොන්දුවක් නැතත් ගුරුවරයෙක් විදිහට මං හිතින් පොරොන්දුව ලියාගෙන තියෙනවා. ඒක නිසා මේ කරගෙන යන ක්ලාස් ටික මං කිසිම හේතුවකට වෙනස් කරන්නෑ. ඒත් මේ අගෝස්තු ඉදන් අළුත් ක්ලාස් පටන් ගන්න එක ගැන තව හිතන්න ඕනි"

"ඒක හොදයි අයියෙ. මොකටද විවේකයක් නැතුව ඔහොම නැහෙන්නෙ"

"ඔයාලා ඔහොම කතා කරන්නෙ මං ගැන මොකුත් දන්නැති නිසාහැබෑවටම වනවිටත්, මව්පිය දෙදෙනාම ගුරුවරු බවත්, නැගණියන් තිදෙනෙකු සිටින බව හා පදිංචිය රත්නපුර බවත් හැරෙන්නට වැඩි දෙයක් අපි ඔහු ගැන දැන සිටියේ නැත.

හිතට සතුටක් විවේකයක් නැතුව සල්ලි විතරක් ගොඩගහන්න මගේ කිසිම ආසාවක් නෑ පවනි. ඒත් ගෙදර ලොකු පුතා හැටියට මට යුතුකම් වගකීම් කියලා දෙයක් තියෙනවා. අපේ අම්මටයි අප්පච්චිටයි ආදායමක් කියලා තියෙන්නෙ දෙන්නගෙ පඩිය විතරයි. ඒකෙනුත් අප්පච්චිගෙ  පඩියම වගේ ගේ හදන්න ගත්තු ලෝන් එකට කැපෙනවා. එහෙම බැලුවම අම්මගෙ පඩියෙන් තමයි ගෙදර හැමදෙයක්ම පිරිමහගන්නෙ"

"අපේ ගෙවල් වලත් එහෙම තමයි අයියෙ. ඒත් අයියට දැන් ජොබ් එකක් තියෙන නිසා ගෙදරට සල්ලි දෙන්න පුළුවන්නෙ"

"මං දුන්නට අම්මලා ගන්නෑ. ඒත් එහෙමයි කියලා මට පොඩි උන් තුන්දෙනා ගැන නොබලා ඉන්න බෑනෙ. තුන්දෙනාම කෙල්ලො. ඔය වයසෙ කෙල්ලො කොහොමත් ලස්සනට අඳින්න පළදින්න කැමතියිනෙ. ලොකු නංගි දැන් ඉස්කෝලෙක උගන්නනවා. දැන් කාලෙ ටීචර්ස්ලා වුණත් ඉස්සර වගේ නෙවෙයිනෙ. සාරියේ පාටට සපත්තු මාල බෑග් කොණ්ඩ කටු කීයක් දේවල්ද. අම්මටයි අප්පච්චිටයි පඩියෙන් කන්න බොන්න දෙන්න පුළුවන් වුණාට නංගිලාට ඕනි හැමදේම  අරන් දෙන්න පුළුවන් කමක් නෑනෙ. ඒක නිසා නංගිලා තුන්දෙනාගෙ අනාගතේ වෙනුවෙන් මට කරන්න ගොඩක් දේවල් තියෙනවා පවනි. ඉස්සරහට මොනවා වෙයිද කියලා කවුද දන්නෙ. ඒක නිසා මං බලන්නෙ මේ පුළුවන් කාලෙ පොඩි උන් තුන්දෙනා වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරලා තියන්න. "

"ඔයා වගේ අයියෙක් අදුරාගන්ඩ ලැබුණ එකත් සතුටක් අයියෙ. ඇත්තමයි මං මේ කියන්නෙ. ඔයාගෙ නංගිලා තුන්දෙනා නං හරි වාසනාවන්තයි" කියමින් මනූජා කෑම කොළය අකුලමින්ම නැගිට්ටේ අත බැදි ඔරලෝසුව දෙසද බලමිනි.

"ඒකනං ඇත්ත මනූ. මේ වගේ අයියෙක් ලබන්න නංගිලා ගොඩක් පිං කරලා ඇති. මටනං ඉරිසියත් හිතෙනවා" එතෙක් කිසිවක්ම කතා නොකර සිටි මගේ කටහඬ ඇසෙද්දී සමීරගේ මුහුණේ සුන්දර සිනහවක් ඇඳුනි.

"ඔයා මොකටද ඉරිසියා කරන්නෙ. එයාලා තුන්දෙනෙකුට ඉන්නෙ එක අයියයි. ඔයාට අයියලාම තුන්දෙනෙක් ඉන්නවා"

"ඒත් එක අයියගෙන් නංගිලා තුන්දෙනාට ලැබෙන තරං ආදරයක් අයියලා තුන්දෙනෙක් ඉදලවත් මට ලැබෙන්නෑ කියලා මං දන්නවා"

"ඔයා එහෙම හිතන්න එපා. ඔයාට නොදැනුනාට අයියලා ඔයාට ගොඩක් ආදරේ ඇති"

"ඉස්සර නං මාත් එහෙම හිතන් හිටියා. ඒත් ඔයා ඔයාගෙ නංගිලා ගැන කතා කරන විදිහ ඇහුනම මට හිතෙනවා මගේ අයියලා මට ආදරේ නෑ කියලා. ලොකු අයියා ගියා ගියාමයි කෝල් එකක්වත් නෑ. හිච්චි අයියා ගෙදර හිටියත් කතා කරේ උවමනා දේකට විතරයි. දැන් වුණත් කෝල් එකක් දෙන්නෙ සතියටකට දෙතුන් පාරයි. ඒකත් විනාඩියයි නැත්තං දෙකයි. අම්මට නං හැමදාම කතා කරනවලු. එක්කෝ එයාට අම්මගෙ කටහඬ අහන්නැතුව ඉන්න බැරි නිසා නැත්තං අම්මට එයාගෙ කටහඬ අහන්නැතුව ඉන්න බෑ කියලා එයා හිතන නිසා"

"පොඩි අයියා"

"එයා කොහොමත් පුංචි කාලෙ ඉදලම හරි ඈතයි. බැන්දට පස්සෙ ඒක තවත් වැඩි වුණා. මං ගෙදර ගිහින් ඉන්න වෙලාවක ආවොත් ...චූටි මැණික කවදද ආවෙ මං ඔයා ඉන්න බව දන්නෑනෙ කියනවා. මං ආවා කියලා දැනගෙන ආවොත් මං කන්න කැමති දෙයක් හරි ඇඳුමක් හරි උස්සගෙන ඇවිත් ඔන්න මං ඔයාට අරවා ගෙනාවා මේවා ගෙනාවා කියලා යනවා. බැඳීම් අතින් අපි කොච්චර දුප්පත්ද කියලා දැනෙන්නෙ ඔයත් එක්ක කතා කරනකොට"

"දැන් ඔය චුරු චුරුව නවත්තලා කාලා හිටපන් භගී. සමීර අයියට යන්ඩ පරක්කු වෙනවත් ඇති" මනූජා අත සෝදාගෙන ඇවිත් මා අසලින් අසුන් ගත්තේ නෝක්කාඩු කියමිනි

"ඔය දෙන්නා කනකල් අපි බුක් ෂොප් එකට ගිහින් එන්නද" පවනිගේ පැණය මගේ සිත සතුටින් පුරවාලන්නට සමත් වූයෙන් මා හිස දෙපසට සලා කැමැත්ත ප්රකාශ කළේ කතා කරනවිට සිත තුල ඇති සතුට ඔවුන් හදුනා ගනු  ඇතැයි සැකයෙනි. ඔවුන් පිටව යනවිට මොහොතකට පෙර මහිතේ ඇතිවූ සතුට මට සමීරගේ දෑස් තුලින්ද දැකිය හැකි විය.

"මං උදේ ක්ලාස් එකක් තිබුණා කිව්වෙ බොරුවට" මගේ ඇස්දෙක තුලට කිමිදී ඔහු එහෙම කිව්වේ  දෙතොලතර නලියමින් තිබූ දඟකාර හිනාවට පිට පනින්නට ඉඩ දෙමිනි.

"ඇයි"

"මට ඔයාව බලලා යන්න එන්න ඕනි වුණා. හවසක ආවොත් නිදහසේ කතාකරන්නවත් බැරි වෙන නිසයි උදේම ආවෙ. මං දන්නවනෙ ඔයාලා කන්න එන වෙලාවල්" එකම එක තත්පරයකට මට ඔහු බදා වැළඳගන්නට සිත්විය. වසර දෙක හමාරකට ආසන්න කාලයක් මුලුල්ලේ මා ඔහු කෙරෙහිත් ඔහු මා කෙරෙහිත් දක්වන කැමැත්ත  මා මෙන්ම ඔහුද හඳුනාගෙන සිටින්නට ඇතත් ඔහු විවෘතව ගැන කතා කළ පළමු අවස්ථාව එය වූයෙන් මට දැනුනේ මා ඈත ලොවක පාවෙමින් සිටින බවය.

"මං ආව එකට අකමැතිද" මම හිස දෙපසට සලා පිළිතුරු දුන්නෙමි.

" වුණාට මං  ඇවිල්ලා ගොඩක් වෙලා යනකල් ඔයා වචනයක්වත් කතා නොකර ඉන්නකොට මං හිතුවෙ ඔයා මං ආව එකට අකමැතියි කියලා"

ඉදිආප්පයක් අතින් පොඩි කරමින්ම මම යලිත් හිස දෙපසට සැලුවේ ඒ පාවෙමින් සිටි සිහින ලොවෙන් බිමට බැස ඔහු සමග හෝ කතා කරන්නට තිබුණ අකමැත්තටය. කතා නොකරම මා දෙස බලා උන් ඔහු මා අන අනා සිටි ඉදිආප්ප කට අතට ගෙන කටට දමාගත්තේ මදක් හිස ඇලකොට මගේ මුහුණට එබෙමිනි. එවැන්නක් කිසිසේත්ම අපේක්ෂා නොකළ මා හිස ඔසවා ඔහු දෙස බලද්දී ඔහු සිටියේ තෘප්තිමත් සිනාවක් දෙතොලතර තබාගෙනය. මට සිනාසෙන්නට උවමනා විය. එහෙත් කඳුළු ඊට ඉස්සර වූ නිසා ඔහු කලබල විය.

"ප්ලීස් අඬන්න එපා" රහසින් මෙන් එසේ කියමින්ම මොහොතක් මා දෙසම බලා උන් ඔහු කෑම පාර්සලය අකුලමින්ම නැගිට්ටේ තවදුරටත් කෑමේ අවශ්යතාවක් දෙදෙනාටම නොමැති බව තේරුම්ගෙනය.

"ප්ලෙන්ටියක් බොමුද" අත සෝදාගන්නා  තුරු මා අසලටම වී සිටි ඔහු අසද්දීම පවනිත් මනූජත් ආපනශාලවට ඇතුළු වූහ.

"මං අරන් එන්නං. ඔයා අර දෙන්නා ගාවට යන්න" කියූ ඔහු ආපනශාලාවේ වූ පෝළිමට එකතු විය.

"කෝ සමීර අයියා" මනූජා ඇසුවේ මා යළි අසුන් ගන්නා විටය

"තේ ගේන්න ගියා"

"පව් අප්පා. කොහොම ගැට්ටකින් හිටිය සින්නෙක්ද අන්තිමට මේ ජුන්නො ටිකකට කඩේ යන්ඩ ගත්තෙ" පවනි කම්මුලේ අතක් ගසාගෙන මවාගත් දුකකින් මෙන් කතා කරද්දී  මට සිනහ නැගුනි.

"මෙතන අපි දන්නැති හොරයක් තියෙනවද කොහෙද පවනි" මනූජා මා දෙස දෑස් කුඩා කරමින් බලද්දී මා තිගැස්සුන බව ඇයට වැටහෙන්නට ඇත.

"මොකද එහෙම කියනකොට ගැස්සෙන්නෙ. මං කියන්නෙ මුං දෙන්නා යාළුයි"

"පිස්සු"

"මෙහෙම ගියොත්නං මට නෙවෙයි උඹලා දෙන්නගෙන් එකෙකුට පිස්සු හැදෙනවා. උඹ ඔළුවෙන් හිටගෙන නෑ කිව්වත් සමීර අයියා උඹ ගැන උනන්දු වෙනවා. උඹත් එහෙමමයි"

වාසනාවකට මෙන් සමීර එවෙලෙහි අප අසලට පැමිණි නිසා ඇය කතාව නතර කරගත්තාය.

"දැන් කට්ටිය පාඩම් කරලා එහෙම ඉවරද" තුන්දෙනාගේම මුහුණු බලමින් ඔහු ඇසුවේ තේ බී අවසානයේදීය

"මොන ඉවරද තාම පටන් ගත්තෙවත් නෑ"

"නැකතක් එනකල්ද ඉන්නෙ"

"මොකටද?. ඔය දෙන්නට යාළු වෙන්ඩද" ටික වේලාවකට පෙර මා තිගැස්සුන තරමටම නැතත් මනූජගේ පැණයෙන් සමීරද මදක් තිගැස්සුන බව මට මෙන්ම ඇයටද පෙනෙන්නට ඇත.

"කියනකොට දෙන්නම ගැස්සෙනවා"

"විකාර කියවන්ඩ එපා මනූජා. මට ඔයාලා මගේ නංගිලා වගේ"

"එහෙනං ඉතින් ඕකට ඔච්චර තරහා ගන්ඩ දෙයක් නෑනෙ. මං කිව්වෙ මට පේන දේ"

"මං ආයෙ එන්නෑ මේ පැත්ත පළාතෙ"

කේන්තියෙන් මනූජා දෙස බැලූ සමීර ඔහු අත තිබුණ කෝප්පය හඬ නැගෙන ලෙස මේසය මත තබා පිටව ගියේ වැරදීමකින්වත් පිටුපස නොබලමිනි. පසුපසින් දුවගෙන ගොස් අතක එල්ලී තවත් මොහොතක් මා අසල රැදෙන ලෙස ඉල්ලන්නට මෙන්ම ගෙවෙන්නට තිබුණ සොඳුරු මොහොතක් අහිමි කළ මනූජාට අතට අහුවෙන දේකින් දමාගසන්නත් මට උවමනා විය. එහෙත්  කිසිවක් ක්රියාවට නගන්නට තරම් ශක්තිමත් සිතක් එදවස මා සතුව නොතිබුණි.

"ඇත්ත කියනකොට තමයි කාටත් තරහා යන්නෙ"

"දැන්වත් ඕක නවත්තන්ඩ මනූ. එහෙම දෙයක් තියෙනවනං නොකියා ඉන්න තරං අපි ඈත නෑනෙ. හැමවෙලේම අපි හිතන දේම තමයි හරි කියලා හිතන්ඩ හොද නෑ"

"මේකෙ ඉන්න උන් ඔක්කොගෙම ඔළුව හොදනෑ " කඳුළක් නොසෙල්වා ඉන්නට වෙහෙසන මා දෙස රවා බැලූ ඇය එතනින් නැගිට ගියේ ගස්සාගෙනය. ඒ සමගම නැගිටගත් පවනී මා ළඟින් අසුන්ගෙන එක් අතකින් මගේ අත අල්ලාගෙන අනෙක් අත හිස මතින් තබද්දී එතෙක් ආයාසයෙන් සිරකරගෙන සිටි හැඟීම් මගේ පාලනෙයෙන් මිදුනි.

"අඬන්ඩ එපා භගී. දැන් ළමයිනුත් එනවා. අපි යං ලෙක්චර් හෝල් එකට. නැත්තං දැන් ජනක එහෙම ආවොත් ඌ මනුත් එක්ක එල්ලෙනවා "

"මං බෝඩිමට යනවා"

"පිස්සු වැඩ කරන්ඩ එපා භගී. මනූගෙ හැටි දන්නවනෙ සෝඩා බෝතලේ කැඩුවා වගේ. තව විනාඩි පහකින් එයි මොකවත් වුණේ නෑ වගේ. සමීර අයියා වුණත් ගියෙ ඔයත් එක්ක තරහා වෙලා නෙවෙයිනෙ"

" වුණාට මට ලෙක්චර්ස් යන්න බෑ"

"බැරි නෑ. යං" අතින් ඇද  මා නැගිට්ටවා ගත් ඈ එදා මගේ අත අත්හැරියේ දේශණශාලාවේ පිටුපස අසුන් පේළියක මැදකදීය. ඉදිරිපස අසුනක සිටි මනූජා පිටුපස හැරී බලා සිනාසී පොත් ටිකද රැගෙන අඩියට දෙකට ඇවිදින් අපට එහායින් අසුන් ගද්දී පවනිට සිනහ නැඟුනි. හිත එකතැනක තබාගෙන වැඩක් කරන්නට තරම් නිරවුල් මනසක් නොතිබුණද උදේ වරුවේ දේශණ  කිසිවක් මඟහැරීමට පවනිගෙන් ඉඩක් නොලැබුණි.

"භාග්යාට මොකද අද වෙලා තියෙන්නෙ.සනීප නැද්ද නැත්තං හිතේ ලෙඩක්ද" දහවල් කෑම පැයේදී ජනක මගේ වෙනසක් දැක තිබුණේ හොද වෙලාවටය.

"මගෙ ඔළුව රිදෙනවා"

"මං හූනා කියන්නා වගේ කියන්නං ඔය රිදෙන්නෙ ඔළුව නෙවෙයි  හිත. මොකද ගැට්ටයියා කාලෙකින් මේ පැත්තෙ ආවෙ නෑනෙ" අංජනගේ කතාවට මනූජාත් පවනිත් මූණින් මූණ බලාගෙන සිනාසුනද මා සිටියේ එය නුදුටු පරිදිය.

"උඹලා මේ ඕන්නැති විකාර කියවලා පුළුවන්නං මේ කෙල්ල කැම්පස් එන එකත් නතර කරපල්ලා" වැඩිය කෑ කෝ නොගහන ජනකගේ වචන වලට කීකරු වන ගතියක් අංජනට පමණක් නොව පවනිට සහ මනූජාටද තිබුණ නිසා ඉන්පසු කිසිවෙක් ගැන කත කරන්නට උත්සහ නොකිරීම මට සහනයක් විය.

"භාග්යා, ඔළුව රිදෙනවනං මේ දෙන්නා එක්ක මෙඩිකල් සෙන්ටර් එකට ගිහින් බෙහෙත් ටිකක් අරන් බෝඩිමට යන්න"

"එච්චර අමාරු නෑ ජනක. පැනඩෝල් දෙකක් බීලා ටිකක් නිදාගත්තම ඕක හරියයි"

"එහෙනං තව අව්ව සැරවෙනකල් ඉන්නැතුව යන්න. තනියෙන් යන්න පුළුවන්නෙ"

"පුළුවන්" කියාගෙනම මා එතනින් නැගිට ආවේ පවනි මූණ බෙරි කරගෙන සිටියදීය.

14 comments:

  1. අදත් හොඳයි මේ අතීත කෑලි ඔයා ටොප් එකට ලියනවා. ඔෆිස් කතා ටිකක් විතර බෝරිං.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ මට අතීත කෑලි ලියන්න පහසුයි මගේ ජීවිතෙන් බාගෙකට කිට්ටු කාලයක් තිස්සෙ මං ජීවත් වෙන්නෙ ඒ පරිසරයෙ නිසා.

      ඒත් ඉතිං කතාව පටන් ගත්තෙ වර්තමානෙන් නිසා වරින් වර වර්තමානෙටත් එන්න වෙනවා. ආයෙ එහෙම වෙලාවලුත් බෝරිං වීම පුළුවන් තරමින් අඩුකරගන්න උත්සහ කරන්නම්.

      ස්තූතියි ඒ ගැන කිව්වට. කවුරුත්ම ඒ ගැන නොකිව්ව නිසා මට ඒ ගැන දැනුනෙත් නෑ

      Delete
    2. මට නම් ඒකේ අනිත් පැත්ත.ඒ ඉතින් අපි එක එක්කෙනාට රස දැනෙන හැටි වෙන්න ඇතිනේ.

      Delete
    3. මම දැන් දෙන්නගෙම අදහස් කිරලා මැනලා තේරුම්ගත්තු දේ තමයි කතාව ක්‍රමයෙන් බෝරිං වෙනවා කියන එක. දැන් ඉතින් බැදගත්තු බෙරේ ගහන්නම එපැයි. මං උපරිම උත්සහ කරන්නං බෝරිං වීම අවම කරවන්න

      Delete
    4. මේ කතාව එහෙම බෝරිං නැහැ.එත් මේ කතාව තුල මට හිතෙන දේවල් කිහිපයක් කියන්නම් කෝ අක්කේ.

      1) මේ විදියේ ප්‍රේම කතන්දර ලංකාවේ නවල් ඇතුලේ නිතරම හමුවෙන නිසා.
      (මම දැක්කා අර ෆේස්බුක් එකේද කොහොද කියලා තියෙනවා කවුරු හරි අක්කාට "සුජීව ප්‍රසන්නආරච්චි" දෙක කියලා...:) සුජීවගේ කතා හොඳයි.එත් මට හිතෙනවා සුජීව ප්‍රසන්නආරච්චි,එඩ්වඩ් මල්ලවආරච්චි ගේ කතාවල් එහෙම ඔය එකම කතාව නම් සහා තැන් වෙනස් කරලා ලියලා කියලා.හරියට නිකම් ලංකාවේ සමහර ටෙලි නාට්‍ය වගේ.ඉන්දියාවේ මෙගා නාට්‍ය වගේ.)

      සුජීව ප්‍රසන්නආරච්චි,එඩ්වඩ් මල්ලවආරච්චි කියන නම් එක්ක "සඳමාලි සකුන්තලා හේරත්"කියන නම හයිලයිට් වෙලා ලියවෙන්න ඕන කියලා මම හිතනවා.

      //මොකද ඔයා ඔය කියන ටැලන්ට් එක මං දන්නෑ. ඔන්න ඔහෙ ලියන එකයි කරන්නෙ.//

      ඔහෙ ලියන කෙනෙක් මෙහෙම හොඳට ලියනවා නම් හොඳට හිතලා සංස්කරණය කරලා ගත්තාම කොහොම හොඳට ලියාවිද?

      2) කතාව යන රටාවත් එක්ක අන්තිමට වෙන්නේ මෙන්න මේකයි වගේ අදහසක් එන නිසා.
      ( එක නම් ඉතින් මගේ අඩුපාඩුවක්.මොකද කතාව ගැන මම හැමතිස්සෙම මම උපකල්පන/අනුමාන කරන නිසා...:D )

      3) සඳමාලි අක්කාගේ කෙටි කතානේ මම කියවලා තියෙන්නේ.මේ අක්කගේ නව කතාවක් කියවන පළමු වතාව.ඉතින් අර කෙටි කතාවක් කියවලා එකේ තියෙන දේවල් නවකතාවක කොටස් කිහිපයකින් බලාපොරොත්තුවීම නොකල යුත්තක්.

      මේ කතාවේ තව කොටස් තියෙනවානේ ඒවායෙන් කතාව නොහිතන මානයකට යන්න පුළුවන්නේ.

      Delete
    5. මනෝජ් මල්ලි ඔයා දැන් මේ කොහෙ තිබ්බ ප්‍රශ්ණ පත්තරේකටද මේ වැටවල් ගහලා උත්තර බැදලා තියෙන්නෙ

      Delete
  2. හැහ් හැහ්.... ආසයි බයයි කාලෙ නියමෙටම ලියනවා.. ආදරයක හොඳම කාලෙ කියනවා ලු නෙ ඔය ආසයි බයයි කාලෙ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මොකද ඉතිං ලු ලු කියන්නෙ. ඔයාට එහෙම කාලයක් තිබ්බෙ නැද්ද?

      ලු කතා බොරුලු කියලා කතාවක් තිබ්බට මමනං ගස් ලබ්බගෙ කතාවට 100% එකගයි.

      හොරෙන් හොරෙන් ඇස් වලින් කතා කරන කකුල පෑගුවත් හුස්ම ගන්න අමාරුවෙන කාලෙ තමයි ආදරේක හොදම කාලෙ

      Delete
  3. ඔය ආදරේට මොකක් වෙයිද බලාගෙන ඉවසගෙන ඉන්නෙක තමයි අමාරුම දේ...

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම බලන් ඉන්නෙක අමාරු වෙලා තියෙන නිසා මං ඔයාලට වැඩි දවසක් එහෙම බලන් ඉන්න දෙන්නෑ.

      Delete
  4. සඳු, මේ කොටස මට ගොඩක් සමීපව දැනුණා. සමීර මේ ටියුෂන් ක්ලාස් ගැන, නංගිලා ගැන කියලා තියෙන දේවල් මම මීට කළිනු අහලා තියෙනවා, මගේ මහත්තයාගෙන්. අර මං කියපු නංගිලා තුන් දෙනාගේ අයියා, ඒ මගේ මහත්තයා. :)

    කතාව හරිම ලස්සනයි සඳු. හප්පා, ආසයි බයයි කාලේ ගැන මොකට කියනවද! :D

    ReplyDelete
    Replies
    1. සිත්තමී,
      ඔයා ඒ නංගිලාට ඉරිසියා කරන්නෑ නේද?.

      ආසයි බයයි කාලෙ.... හෙහ් ගස් ලබ්බත් මරු වචනයක්නෙ හොයලා දුන්නෙ

      Delete
  5. ටික දවසකින් ආවේ....

    මග ඇරුණු කොටස් 2්‍ ම කියෙව්වා.... ලස්සනයි...

    ඊලඟ කොටසත් ඉක්මනින් ලියන්නකෝ එහෙනම්.....

    ReplyDelete
    Replies
    1. නිර්මාණි, මං ඉතින් ඔයා අර ලෝවැඩ සගරාව පෙරලන්න කලින් කොහොම හරි දෙනවා.

      මං මේ දවස්වල කාර්‍යභාරයක් නොමැති ඇමති කෙනෙක් වගේ. ඇති වැඩකුත් නෑ කරන වැඩකුත් නෑ ඒ උනාට වෙලාවත් නෑ

      Delete