Sunday, July 31, 2016

උරුමය - දහසයවන කොටස


පළවෙනි කොටස මෙතනින්



හත් දවසේ දානයේ වැඩ කටයුතුත් අවසන් වනතුරු යසවතී නැවත නොපැමිණිය නිසා මට යළිත් කාර්‍යාලයට එන්නට හැකි වූයේ සතියකට පසු සිකුරාදාවකය. දියණිය පෙර පාසලේ රැදෙන උදේ වරුවේ මට කාර්‍යාලය තුල රැදී සිටිය හැකි වුවත් ලොකු අයියා ඊට කැමැත්තක් නොදැක්වූවා සේම මා නිවසේ හුදෙකලා වීම වලක්වන්නට මෙන් ඒ සතියේම ඔහුද බොහෝ විට හිටියේ මා සමගය. අයියලා තිදෙනාගෙන් කවදත් මට වැඩි සැලකිල්ලක් ලැබුණේ ලොකු අයියාගෙන් වුවත් ගෙවුන සතිය තුල ඔහු මා කෙරෙහි වෙනදාට දැක්වූ සැලකිල්ල තවත් කිහිප ගුණයකින්ම වැඩි වී තිබුණි. ආදරය කළ අයෙකු සදාකාලිකව අහිමි වීම කෙතරම් වේදනාවක්දැයි වඩාත් හොඳින් දැන සිටින ඔහුට මා සමීර ගැන ඔහු සමග කතා කළ පසු මා ගැන අනුකම්පාවක් දැනුනා වන්නට පුළුවන. මට අම්මා බලන්නට උවමනා නිසාම අප්පච්චී සමග වූ සියළු හිත් අමනාපකම් පසෙකින් තබා ඔහු හෙටට ඒ ගමන යොදාගෙන තිබුණේද වැඩ රාජකාරි රාශියක් මැදය.

දුරකතනය නාදවන විට මා සිටියේ වෙනත් ආයතනයකට යැවිය යුතු ලිපියක් සකසමිනි. ලොකු අයියා කාර්‍යාලය තුල සිටින සෑම විටම දුරකතන ඇමතුම් වලට පිළිතුරු දෙන්නේ ඔහු නිසා මට ඒ ගැන වද වෙන්නට උවමනා වූයේ නැත.

"පමුදිට ෂුවර් ද ඒ එයාමයි කියලා" මා පරිගණකයෙන් මුදාගත් දෑස් ලොකු අයියා දෙසට හැරවූයේ ඔහුගේ හඬේ වූ කැළඹිල්ලටය.

"යන තැනක් කියලා ගියෙ නැද්ද පමුදිට" පමුදිගෙන් ලැබෙන පිළිතුරු මට නෑසුනද කලබල විය යුතු යමක් සිදුවෙමින් පවතින බව ලොකු අයියගේ කටහඬේ මෙන්ම ඉරියව් තුලද තිබුණි.

"හරි කමක් නෑ පමුදි. මට විනාඩි පහ හයක් දෙන්න. ඔයාට මොකක් හරි අර්ජන්ට් වැඩක් කියලා පුංචි වෙලාවක් ගන්න බලන්න" කියමින් ලොකු අයියා පුටුව පස්සට තල්ලු කරමින් නැඟිට්ටේ මා දෙස බලාගෙනය. අශුභ දෙයක් සිදුව ඇති බවක් ඒ වනවිටත් තේරී තිබුණ  නිසාම ඔහු මා අසලට  එනවිට මා නැගිට්ටේ "ඇයි ලොකු අයියා" කියාගෙනය. කතා නොකරම කම්මුල් දෙක අත් දෙකෙන් තද කළ ඔහු එසැණින් මා වැළදගෙන මගේ හිස මත මුහුණ හොවාගත්තේය.

"මට සමාවෙන්න චූටි මැණික. ලොකු අයියට හැමදාම වෙන වැරැද්ද ආයෙත් වුණා"

"මොකද්ද වෙලා තියෙන්නෙ අයියෙ. ඔයා හොඳටම එක්සයිට් වෙලා" මා ඔහුගේ ග්‍රහණයෙන් මිදෙද්දී ඔහු නැවතත් කම්මුල් වලට දෑත් තැබුවේ කුමක්දෝ කියාගත නොහැකි වේදනාවකිනි.

"ප්‍රශ්ණෙ මොකක්ද කියලා කියලා ඉන්න අයියෙ. මගෙ හිත ඔයාට වඩා හයියයි. වෙලා තියෙන දේ මට කියන්න"

"මං මේක ඔයාට නොකියා ඔයාව ගෙදර එක්ක යන්නයි හිටියෙ. ඒත් මං පරක්කු වැඩියි චූටි මැණික....මං අර කිව්ව අකවුන්ටන් ගැනම තමයි ඔයා පෙරේදා රෑ මා එක්ක කිව්වෙත්. ඔව් චූටි මැණික. ඔයා කිව්වා වගේම ඌ ඔයාට ආදරෙයි. ඒත්.. ඒත් ඌ  එන්ගේජ් වෙලා ඉන්නෙ. මං එන්ගේජ්මන්ට් එකේ ෆොටෝ වගයකුත් දැක්කා" දෑසට උණන කඳුළු හදවතට පාලනය කරගත හැකි බව මා මුල්වරට තේරුම් ගත්තේ එවෙලෙහිය. ලොකු අයියා සිටින්නේ මට වඩා දුර්වල තැනකය. මා දුර්වල වුවහොත් ඔහු මටත් වඩා දුර්වල වනු ඇත.

"එයා වෙන කෙනෙක් මැරි කරන්න යන බව මං දැනන් හිටියා ලොකු අයියා. ඒක නිසා අයියා මං ඒ ගැන හිතලා දුක් වෙයි කියලා හිතන්න එපා. ඒත් මට ආයෙ වැඩට එන්න කියන්න එපා"

සමීර වෙනත් යුවතියක් හා විවාහ ගිවිස ගත් වග අසා මා ඉකිගසා හඬනු ඇතැයි බලාපොරොත්තුවෙන් මෙන් සිටි ලොකු අයියා මගේ හිස පපුවට තුරුළු කරගත්තේය.

"මං කොහොමත් ඔයාව හෙටින් පස්සෙ ඔෆිස් එකට තියා ගාල්ලටවත් එක්ක එන්නෑ කියලයි හිතා හිටියෙ. මෙච්චර වැඩ අස්සෙ මං හෙටම ගෙදර යන්න දාගත්තෙත් ඒකයි. මේ කොල්ලා මොකට වෙන කෙල්ලෙක් බඳින්න ලෑස්ති කරගත්තද කියන්ඩ මං දන්නෑ. ඒත් තාමත් උගේ හිතේ ඔයා ඉන්න බව මං දන්නවා. මට ඒකට සාක්ෂි තියෙනවා" එවර නම් මට මා පාලනය කරගැනීම අසීරු විය.

"පුංචි වෙලාවකට හිත හයිය කරගෙන ඉන්න බලන්න චූටි මැණික. ඌ දැන් මොකකට හරි එළියට ගිහින්. ඒ අතරෙ ඌ එන්ගේජ් වෙලා ඉන්න කෙල්ල ඇවිත් පමුදිට කියනවලු එයාට ඔයාව හම්බෙන්න එන්න ඕනි කියලා" මගේ හිසේ පැත්තක් හිරි වැටීගෙන එන බවක් දැනී මම තදින් නළල පිරිමැද ගත්තේ දහරා ඉදිරියේ කඳුළක් නොසෙල්වා සිටිය යුතු බවට මගෙ හිතටම තදින් අවවාද කරමිනි.

"ඒ කෙල්ලට ඔයාව මුණ ගැහෙන්න ඕනි වුණේ ඇයි කියලා මං හරියටම දන්නෑ. ඒත් මට හිතෙනවා තාමත් ඔයා උගෙ හිතේ ඉන්නවා කියන සාක්ෂිය එයාටත් අහුවෙන්න ඇති කියලා"

"අයියා බය වෙන්න එපා. මට අනුන්ගෙ දේවල් අරන් පුරුද්දක් නෑ"

"මට මගෙ නංගිව විශ්වාසයි චූටි මැණික. මං බය ඔයාගෙ හිත තැලෙනවට. ඒත් මට ඒක හිතන්න තිබ්බෙ වෙච්චි දේවල් දැන දැන ඔයාව වැඩට එක්ක එන්න කලින්" දොරට තට්ටු කරන සිහින් හඬක් ඇසුනේ ඒත් සමගය.

මගෙ හිස මටම ඔසවාගෙන සිටිය නොහැකි තරමට බර බව දැනෙද්දී මා ලොකු අයියගේ පපුවට වාරු වනවිට ලොකු අයියා එක් අතකින් මා අල්ලාගෙන "එන්න" කිවේය.

"මොන දේ වුණත්  ලොකු අයියා ඉන්නවා ඔයත් එක්කම" දොර ඇරෙද්දී ලොකු අයියා එසේ කිව්වේ මගේ හිස මත අතක් තබමිනි.

වරක් පංචලී පෙන්නූ ජායාරූපයේ සිටි රුවැත්තිය දහරා මඩවල කාමරයට ඇතුළු වනු බලන්නට හිස එසවූ මා ඒ දකිමින් සිටින්නේ සිහිනයක්දැයි තහවුරු කරගන්නට කිහිපවරක් ඇහිපිය සලා යළිත් දොර දෙස බලද්දී "පමුදි යන්න දැන්" කියා ලොකු අයියා අරුණොද්‍යාට පිටුපසින් සිටගෙන සිටි පමුදි ඇතුළට ඒම වැලකුවේය. මට ලොකු අයියාගේ ග්‍රහණයෙන් මිදී අරුණොද්‍යා වෙත යන්නව උවමනා විය. ඒත් ලොකු අයියා මට සෙලවෙන්නටවත් ඉඩක් දුන්නේ නැත. හිනාවෙන්නට පවා අමතක වූ අයුරින් දොර වසා ඊට පිටදී සිටගත් අරුණෝද්‍යා දුක, බය, පුදුමය, පසුතැවිල්ල වැනි හැඟීම් ගොන්නක් මුසු වූ බැල්මකින් අප දෙස බලා සිට "භාග්‍යා" කියමින් අඩියක් ඉස්සරහට තබද්දීම වේගයෙන් පඩිපෙළ දිගේ දුවගෙන ආ අයෙක් ඒ වේගයෙන්ම දොරට තට්ටු කළේය.

ඒ කවුරුන්දැයි මට මෙන්ම ලොකු අයියාටද දැනෙන්නට ඇත. මා දෙස දුක්මුසු බැල්මක් හෙලූ ඔහු අවසර දෙන්නට මදක් කල් ගන්නට ඇත්තේ එහෙයිනි. එහෙත් එතෙක් ඉවසා සිටිය නොහැකි බව පෙන්නන්නට මෙන් අවසරයකින් තොරවම දොර ඇරගෙන ඇතුළට ආ සමීර මා දෙස බැලූ බවත් ඒත් සමගම "අරුණෝද්‍යා" කියා මා කිසිදා අසා නැති හඬකින් ඔහු කෑ ගැසූ අයුරුත් මට හොඳට මතකය. එදා ජනකලාගේ ගෙදරදී අරුණෝද්‍යා මුලින් දුටු මොහොතේ සමීර පුදුමයෙන් මෙන් ඈ දෙස බැලූ අයුරුත්, ඔයා හරි ෂෝක් සමීරයියා මට එක්කෙනෙක් එක්ක ඉරිසියත් හිතෙනවා කියමින් අරුණෝද්‍යා සමීර දෙස බැලූ අයුරුත්, සමීර ගැන එතෙක් තිබූ විශ්වාසය තවදුරටත් එලෙසම තබාගන්නා බවට මා ඔහුට පොරොන්දු වන්නට සූදානම් වූ මොහොතේ එය වලක්වමින් අප අසලට ආ අරුණෝද්‍යා සමීර අසලින්ම අසුන්ගත් අයුරුත්, එවෙලෙහි සමීරගේ කට කොණකට නැගි සරදම් සිනහවත් එක තත්පරයකට මගේ මනසේ ඇඳී මැකී යනවාත් සමගම "චූටි මැණික....චූටි මැණික" කියමින් ලොකු අයියා මා ඔසවාගත් බවත් මට මතක තිබෙන්නේ යාන්තමටය.

හුරු පුරුදු අතකින් මගේ හිස පිරිමැදෙනවා දැනුනද මට දෙනෙත් හැර ගන්නට අපහසු විය. ඒ ස්පර්ශයත් රිද්මයත් මීට පෙරත් මෙලෙසම දැනුන බව සිහිපත් වුවත් ඒ කවුරුන්ද යන්න මට මතක් කරගත නොහැකි විය.

"දැන් කොහොමද ලොකූ" එක්වරම ඇසුන කටහඬත් ඒ ආමන්ත්‍රණයත් හිස පිරිමැදෙන රිද්මය තරමටම හුරුය.

"ඔයා මොකටද මෙහෙට ආවෙ. මං එන්න එපා කිව්වනෙ"

"අනේ මට බයයි ලොකූ"

"බය වෙන්ඩ ඇයි ඔයා ලෙඩ්ඩු දැකලා නැද්ද. නිකං ගමේ ගොඩේ ගෑණියෙක් වගේ බොරුවට කෑ ගහන්නැතුව ඔයා ගෙදර යන්න සුදු නෝනා. නංගි ගැන මට බලන්න පුළුවන්. මේක මං වැඩ කරන තැනනෙ. ඔයා ගිහින් ඔය වෙඩිං එකට ලෑස්ති වෙන්ඩ. නැන්දා මට මේ ටිකකට කලිනුත්  කතා කරලා කිව්වා ඔයාට එන්ගේජ්මන්ට් එක ගන්න තිබ්බ හදිස්සියවත් උවමනාවත් වෙඩිං එකට නෑ කියලා"

"භාග්‍යා මෙහෙම ඉද්දි මට මොන වෙඩිං ද ලොකූ"

"මනමාළි ඔයා මිස මෙයා නෙවෙයිනෙ. අනෙක මේ ළමයට මේ තියෙන්නෙ ෂොක් එකක් කියලා ඔයාටම තේරෙණවනෙ"

"මනමාළි වෙන්නෙ මං හිටියොත්නෙ. අර පොඩී කියන්නත් වගේ භාග්යාට මොකවත් උනොත් සමීර අයියා මාව තියන එකක් නෑ. ඔයාලට මනමාළි බලන්න වෙන්නෙ පෝරුවක නෙවෙයි මිනී පෙට්ටියක"

"මං දැන් සැරයක් කිව්වනෙ සුදු නෝනා.කට වහගෙන කරුණාකරලා මෙතනින් යන්න. ඔයාගෙ හිතුවක්කාරකමයි පණිඩිතකමයි කටයි නිසා තමයි මේ සේරම" මට ඒ කටහඬ තරමටම ආමන්ත්‍රණද හුරු පුරුදුය. ඒ හුරුපුරුදු කටහඬත් ආමන්ත්‍රණත් සිහි කරන්නට උත්සහ කරමින් සිටියදී යළිත් හිස කැරකැවෙන්නට පටන් ගත්තේය.

තද නින්දකින් පසු මා අවදිවන විට මගේ ඉහ අද්දරින් වාඩි වී සිටියේ අප්පච්චීය. සුරතින් මගේ අත අල්ලාගෙන වමත හිස මත තබා අප්පච්චී සිටියෙ දෑස් පියාගෙනය.

"අප්පච්චි" වෙනසක් නැතුව මගේ හඬ පිට වුවත් අදහාගත නොහැකි යමක් දෙස බලන්නාක් මෙන් පුදුමයෙන් මා දෙස බැලූ අප්පච්ච් එසැණින් පහත්ව මගේ හිස තදින් වැළදගත්තේ "මගෙ මැණික" කියමිනි. අප්පච්චිගේ සුවඳ මා මීට පෙර විද පුරුදු බව දැනුනද ඒ අවුරුදු කීයකට එපිටකදීද යන්න මට මතක තිබුණේ නැත. එනිසාම මා දකිමින් සිටින්නේ සිහිනයක් බව තේරුණත් මට ඒ සිහිනයෙන් අවදි වන්නට උවමනා වූයේ නැත. ඇද ළඟම වූ හාන්සි පුටුවක සිටි අම්මා මා ළඟට එනවිටත් ඇගේ දෙකොපුල් තෙමාගෙන කඳුළු වැක්කෙරෙමින් තිබුණි. මගේ හිස අතගෑ අප්පච්චී ඈ දෙස නොබලාම  ඇදෙන් නැගිට කාමරයෙන් පිටතට ගියේය. මා දකිමින් සිටින්නෙ සිහිනයක් නොවන බව මට තේරුම් ගියේ එවිටය.

"අපි මේ කොහෙද ඉන්නෙ අම්මා" ඈ මගේ හිස සිප සුරතින් මුහුණ අතගෑවා මිස පිළිතුරක් දෙන්නට උත්සහ නොකළාය. ඒත් සමගම කාමරයට ඇතුල් වූ ජනකගේ අයියා දකිද්දී මට අතීත සිදුවීමක්  මැවී පෙනෙන්නට පටන් ගෙන තිබුණි.

"මතකද මාව" අසා සිනාසී  මා අසලින් වාඩි වූ ඔහු මා පරීක්ෂා කර නළාව කරට දමාගෙන හිස අතගෑවේ "දැන් ඔක්කොම ලෙඩ හොඳයි" කියමිනි.

"මේ කොහෙද අයියෙ"

"හොස්පිටල් එකක්"

"හොස්පිටල් එකක් කියලා තේරෙණවනෙ.  නුවරද"

"ඇයි නුවරට යන්න හදිස්සිද. මේ සදර්න්, ගාල්ලෙ"

"එතකොට අම්මයි අප්පච්චියි"

"ඔයාගෙ අම්මයි අප්පච්චියි විතරක් නෙවෙයි තව පොඩ්ඩෙන් අපෙ අම්මත් මෙහෙ එනවා. මං මේ බොහොම අමාරුවෙන් නවත්තගෙන ඉන්නෙ"

"එතකොට අයියා කොහොමද මෙහෙට ආවෙ"

"මං කරාපිටියට ඇවිත් දැන මාස දෙකක් විතර"

"මට මොකක්ද වුණේ"

"ඔයාට මොකුත් වුණෙත් නෑ. වෙන්න දෙන්නෙත් නෑ. දැන් ප්‍රශ්ණ අහ අහා මහන්සි වෙන්නැතුව හොඳ ළමයා වගේ මොනවා හරි ටිකක් කාලා බෙහෙත් බීලා හොඳට නිදාගන්නකො. අපි හෙට ගෙදර ගිහිල්ලම කතා කරමු" කියූ ඔහු තවත් වරක් මගේ හිස අතගා අම්මාත් සමගම කාමරයෙන් පිටතට ගියේය.

මාස ගනනාවකට පසු මා යළි ගෙදර ආවෙ අවුරුදු ගනනාවකට එපිටදී අප්පච්චී විසින් නිවසින් පිටමන් කළ ලොකු අයියාද සමගිනි. නීති රීති තහනම් නියෝග කෙතරම් තිබුණත් ගෙදරදී දැනෙන හැඟීම, කිරිල්ලියක් මෙන් ඉන්නට නිදහස තිබූ ලොකු අයියාගේ නිවසේදී නොදැනුන බව  මට හරියටම වැටහුනේ මගේ කාමරයට පැමිණි පසුය.

එක බැල්මෙන් අප සියළු දෙනාම යටපත් කරගෙන හැකිතාක් අපට ඈතින් ඉන්නට පුරුදුව සිටි අප්පච්චී වැඩිපුර කාලයක් මා ළඟම සිටීමත් අතීතයේ කිසිවක් සිදු නොවූ පරිදි ලොකු අයියා සමග සුහදව සිටීමටත් වඩා මට වැඩිපුරම සතුටක් දැනුනේ ඔහු දෝණිගේ සිඟිති ලොව තුල වීරයෙකු වී සිටීමය. ඒ මෘදු මොලොක් සිත ඔහු ඊට පෙර කොහේ තබා තිබුණාදැයි අප නොදැන සිටියද අම්මා දැන සිටින්නට ඇත. මට දැනෙන පුදුමයෙන් අංශුමාත්‍රයක්වත් ඇයට නොදැනෙන්නේ එනිසාය.

දෙදිනකින් ආපහු එන බව පවසා ලොකු අයියා දෝණිත් සමගම පිටව ගියේ දවසක්ම නිවසේ රැදී සිටීමෙන් පසුය. වරින් වර දැනෙන නිදිමත හැරෙන්නට මට වෙනත් අසනීපයක් නොතිබුණත් අම්මාට උවමනා වූයේ මා ඇදට වී විවේක ගන්නවා දකින්නටය. තවදුටත් ඇගේ සිත රිදවන්නට තිබුණ අකමැත්තට මා ඇයට කීකරු වුවත් මට විවේක ගන්නට උවමනා වූයේ වත්ත පහළ වෙරළු ගහ ළඟ ගල් තලාවේය. ඈ කීයටවත්ම ඊට ඉඩ නොදෙන නිසා ඒ ගැන කතා නොකරම ඇද වියලට හේත්තු වී මා දෙනෙත් පියාගෙන සිදු වූ සියල්ල මනසින් විග්‍රහ කරමින් සිටියදී අම්මගේ හඬ ඇසුනේ දොර අසලිනි.

"ඔන්න චූටි මැණිකගෙ යාළුවෙක් ඇවිල්ලා"

දොර රෙද්ද මෑත් කර මා දෙස බැලූ අම්මා එතනින් ඉවතට යද්දී සිහින් මන්දස්මිතයක් බලහත්කාරයෙන් මුවෙහි තබාගෙන මා අසලට ආවේ ජනකය. ඇද ළඟ තිබූ පුටුව තව ටිකක් කිට්ටු කරගනිම්න් වාඩි වූ ඔහු මගෙ සුරත අත් දෙකෙන්ම අල්ලා ගත්තේ වචනයක්වත් කතා නොකරමිනි. සමීරගේ බැල්මකින් පවා හිත පුරා දිවෙන වචනයට පෙරළිය නොහැකි හැඟීම ජනකගේ ස්පර්ශයකින්වත් නොදැනෙන බව දන්නා නිසා මට අත ඉවතට ගැනීමේ  උවමනාවක් නොවීය.

"මං එක්ක තරහා වෙලාද ජනක"

"අපිට එහෙම තරහා වෙන්න බෑනෙ භාග්‍යා. පුළුවන්නං මං තරහා වෙන්නෙ ඔයා අර මං ආයෙ කැම්පස් එන්නෑ. මං ගැන හොයන්න එපා මං හොදින් ඉන්නවා කියලා මට වචනයක්වත් කියන්න නොදී කෝල් එක කට් කරපු වෙලාවෙම"

"මට එහෙම කරන්න හේතු තිබ්බා ජනක"

"මං දැන් ඒ හැමදෙයක්ම දන්නවා"

"එහෙනං කියන්නකො ඔයා දැන් මොකද කරන්නෙ. අපේ අනිත් තුන්දෙනා කොහෙද ඉන්නෙ"

"කතා කරන්ඩ එපා එකෙක් ගැනවත්" කියමින් ඔහු ඉවත බලාගත්තේය. වැඩිපුර කතා නොකළද ඉක්මනින් කේන්ති ගැනීම ඔහුට සමීරටත් වඩා පහසුවෙන් කළ හැක.

"ඇයි කතා කරන්න එපා කියන්නෙ. මනූලා මොකද කරන්නෙ" ඔහු පුටුවෙන් නැගිට ජනේලය අසලින් සිටගෙන ඉන් එපිට බලාගත්තේ මගේ ප්‍රශ්ණය මඟහරිමිනි.

විනාඩි දෙක තුනක් නිහඬව සිටි ඔහු ආපිට හැරුනේ "උන් දෙන්නා තමයි මේ සේරටම වග කියන්න ඕනි" කියමිනි.

"මොකටද ඒගොල්ලන්ට බනින්නෙ"

"ඔයා විභාගෙ කටමුල තියාගෙන අපි කාටවත් නොකියා කැම්පස් එකෙන් ගියෙ උන් දෙන්නගෙ ඔළුවල තිබ්බ බහුභූත නිසා"

"පිස්සුද ඔයාට. මං ගියෙ ලොකු අයියා කෝල් කරපු නිසා. ඊට පස්සෙ වෙච්ච දේවල් අම්මා ඔයාට කියන්න ඇතිනෙ"ඊට කිසිවක් නොකී ජනක නැවතත් මා අසලින් අසුන් ගත්තේ ලොකු කතාවකට මුල පුරන්නට සූදානමිනි.

"ගියෙ අයියා කතා කරපු නිසා බව ඇත්ත. වෙලාවෙ නංගි කෙනෙක් විදිහට අයියව තනි කරන්න බෑ හිතුන එකත් ඇත්ත. සහෝදර බැඳීම කියන එක මං වෙන කාටත් වඩා හොඳට දන්නවා. ඒත් ඔයාට විභාගෙ දවස් වලට හරි ඇවිත් යන්න තිබ්බා. එහෙම බැරිනං අඩු ගානෙ ඔයාට කැම්පස් එකට ඇවිත් අපිට කියලා යන්න හරි තිබ්බා ඔයාගෙ හිතේ ප්රශ්ණයක් නොතිබ්බනං" ඔහු තවත් බොහෝ දේ කියන්නට සූදානමින් සිටියත් තේ බන්දේසියක් රැගෙන අම්මා කාමරයට පැමිණි නිසා ඔහුට නිහඬ වන්නට සිදු විය.

"පුතා දවල්ට බත් ටිකක් කාල යන්න ඉන්න ඕනි. දැන් පොඩි අයියත් එනවා කිව්වා. එයාට ඔයාව හම්බුණෙත් නෑනෙ" කියමින් ජනකට තේ බන්දේසිය ඇල්ලූ අම්මා මගේ තේ එක අතටම දී කාමරයෙන් පිටවූයේ මා නොදන්නා කතාවක් ඇති බව මට දැනෙන්නට ඉඩ හරිමිනි. එහෙත් මගේ හිතේ සමීර සිටි තැන වනවිටත් නිර්වායුහරණය කර මුද්රා තැබූ බඳුනක් මෙන් සංවෘත බව කවුරු නොදැන සිටියත් මා හොදින් දැන සිටින නිසා මට අම්මගේ ඉඟි බිඟි ගැන සිත වෙහෙසවන්නට උවමනාවක් තිබුණේ නැත.

"අපි හැමෝම අන්තිම කාලෙ ට්රේනිං එකයි විභාග වැඩයි එක්ක බිසී වුණ බව ඇත්ත. වුණාට ඔයා හිතන්න එපා ඔය තුන්දෙනා අතරෙ තිබ්බ ප්රශ්ණෙ මං නොදැන හිටියා කියලා" තේ බී අහවරව මා අත තිබූ කෝප්පයත් මේසය මත තැබූ ජනක චෝදනාපත්රය නැවත දිගහරින්නට පටන් ගත්තේය.

"එහෙම දෙයක් තිබ්බෙ නෑ"

"ඔයා හිතේ තියෙන දේවල් කාටවත් නොකියපු නිසා තමයි මේ සේරම ප්රශ්ණ. දැන් බොරුවට දෙන්නව සුද්ද කරන්න යන්න ඕන්නෑ. අපි අවුරුදු හතරක් එකට හිටිය බව ඇත්ත. ඒත් වැරැද්දක් කරානං යාළුවෙකුට වුණත් මගෙන් සමාවක් නෑ"

"ඔයා මේ මොනවද කියවන්නෙ ජනක. ඇත්තමයි මගෙ ඔළුවත් රිදෙනවා"

"ඔළුව රිදෙනවනං ඔයා නිදාගන්න. හැබැයි මතක තියාගන්න ඔයා කැම්පස් එක දිහාවත් බලන්නෑ කියලා හිතාගෙන ගිහින් අයියා ළඟින් නතර වුණේ අරුන් දෙන්නා ඔයාට අර කෙල්ලව අල්ලලා හදපු කතාව දරාගන්ඩ බැරි වෙච්ච නිසා බව වෙන කවුරුත් නොදැන හිටියට මං දන්නවා කියලා" කියමින් ඔහු කේන්තියෙන් නැගිටිද්දී මා අතක එල්ලුනේ ඔහු කියූ කිසිවක් මට නොතේරුණ නිසාය. ඔහු මා දෙස ඔරවා බලා අත ඉවත් කරගත්තේ කේන්තියෙනි.

"ඔයා ගියාට කමක් නෑ. හැබැයි ඔයා කිව්ව කතාව මොකක්ද කියලා කියලා යන්න. මොන කෙල්ලෙක් ගැන හදපු කතාවක් ගැනද ඔයා මේ කියවන්නෙ"

"වෙන කවුරුත් නෙවෙයි. අර පංචලීද කවුද පොඩි කෙල්ලෙක් හිටියෙ ඔය අන්තිම කාලෙ අක්කි අක්කි කිය කියා ඔයා පස්සෙන් එල්ලීගෙන. පස්සෙ මං කෙල්ල ගැනත් හොයලා බැලුවා. ළමයා මේ පොඩි කාලෙ ඉදන් නිදහසේ හැදිලා ළමයට ඕනි විදිහට ඇඳ පැළඳගෙන කොල්ලෙක් වගේ කොණ්ඩෙ කොටට කපාගෙන හිටියට මුන්ගෙ මේ ඔළුවල තිබ්බ මනස්ගාත කෙල්ල ළඟ නෑ"

පවනිත් මනූජාත් පංචලී ගැන අප්රසාදයෙන් කතා කරද්දී කිසිදිනක මට නොවැටහුන යමක් ඔවුන්ගේ සිත් තුල තිබී ඇති බව මට වැටහුනේ එවෙලෙහිය. එදා රාත්රියේ පංචලී සිනාසී අපේ කාමරයෙන් පිටතට යද්දි ඇතුළට පවනි කඳුළු සලමින් සිටි මා දැක තුෂ්නිම්භූත වන්නට ඇත්තේත් ඉන්පසු ඔවුන් මා සමග කතා කිරීම පවා අත්හැර දමන්නට ඇත්තේත් ඇයිදැයි මට වැටහෙන්නේ දැන්ය. ඒත් මට ගැන හෝ පංචලී ගැන කිසිදු අපුලක් නොදැනුනේ ඇයත් මාත් පෙම් කළේ එකම පිරිමි පෞරුෂයකට බව ඇය පවා නොදැන සිටියත් මා එය හොඳින්ම දන්නා නිසාය.


 

1 comment:

  1. හප්පා.. අර අරුණෝද්‍යා කොහොමද එක පාරට එතෙන්ට කඩාපාත් වුණේ.. ඊළග කොටසින් විසඳන්න ප්‍රශ්න ගොඩක් තියෙන පාටයි.

    ReplyDelete