Saturday, July 30, 2016

උරුමය - පහළොස්වෙනි කොටස


පළවෙනි කොටස මෙතනින්



දියණිය යසවතීට බාරදී  කෑම පාර්සලයක්ද රැගෙන මා යළි රියට නඟින තුරුත් කල්පනාවක උන් රියදුරු මා දෙස බැලුවේ දොර වහන ශබ්දයටය.

"යමු මහීපාල" මගේ වචනයට අවනතව රිය පාරට ගත් මහීපාල වරින් වර මා දෙස බලනවා දුටුවද මා සිටියේ එය නුදුටු ලෙසය.

"මං මෙහෙම ඇහුවට තරහා වෙන්ඩ එපා මිස්" කියමින් යන්තමින් හිස පිටුපසට හැරවූ ඔහු "මිස් අපේ ලොකු සර්ගෙ නංගිද" ඇසුවේය. මට මුවඟට නැඟුන සිනහව වලකා ගන්නට උවමනාවක් නොවීය.

"ඔව්. මහීපාල කොහොමද දන්නෙ"

"මං දන්න ගොඩක් ඒවා එකට එකතු කරලා බැලුවම මට එහෙම හිතුනා මිස්. ඔෆිස් එකේ අය මොනා කිව්වත් මට මුල ඉදලම හිතිලා තිබ්බෙ මිස් අපේ සර්ගෙ පවුලෙ කවුරුහරි කියලා. ඒත් අද තමයි හිතුනෙ නංගි කියලා"

"මහීපාලට එහෙම හිතුනෙ දුව කතා කරපු විදිහටද"

"මං අපේ සර් ගැන ගොඩක් විස්තර දන්නවා මිස්"

"අයියා මහීපාලත් එක්ක කිව්වද"

"ඇත්තටම නං මට නෙවෙයි අපේ ලොකු දුව එක්කයි කියලා තිබ්බෙ" ලොකු අයියාත් ඔහුගේ රියදුරුගේ දියණියත් අතර ඒ තරම් කිට්ටු සබදකමක් තිබෙන්නේ කෙලෙසදැයි මට එක්වරම සිතාගත නොහැකි විය.

"අපේ ලොකු දුව සංගීත ටීච කෙනෙක්.  ඉස්කෝලෙ යනකාලෙ පොඩි පටලැවිල්ලක් හදාගෙන තිබ්බා අපේ ගමේම ඉලන්දාරියෙක් එක්ක. ඌට රස්සාවක් තිබ්බෙත් නෑ. ත්‍රීවිල් එකක් හයර් කර කර හිටියෙ. රස්සාවකටත් වඩා ප්‍රශ්ණෙ තිබ්බෙ උන්ගෙ පවුල. තාත්තා හවස පහ හය වෙනකොට කණමදයා වගේ බීගෙන ඇවිත් කෑ ගහනවා. අයියා කෙනෙක් ඉන්නවා ඌ ඊට දෙවෙනි නෑ. ඉතින් ඔහොම තැනකට දැන දැන ගෑණු දරුවෙක් දෙන්නෙ කොහොමද මිස්. ඒත් ඉතින් අපි කොච්චර කිව්වත් අපේ කෙල්ල ඌ මත්තෙමයි නැහෙන්න හැදුවෙ" කුමක්දෝ දිගු අතීත කතාවක් කෙටියෙන් කියමින් යළිත් වරක් මා දෙස බැලූ මහීපාල මා ඔහුට ඇහුම්කන් දෙන බව වටහාගෙන නැවතත් කතාව කියන්නට පටන් ගත්තේය.

"මං ඒ දවස්වල හරි හිතේ අමාරුවෙන් ඉන්නකොට අපේ සර් මගෙන් ඇහුවා මහීපාලට මොකක් හරි ප්‍රශ්ණයක්ද කියලා. සර් මට මගේ දරුවෙක් ගානයි. ඒත් මං වැඩිහිටියෙක් එක්ක කියනවා වගේ මගේ දුක අපේ සර්ට කිව්වා. ඊට පස්සෙ සර් ටිකක් වෙලා කල්පනා කර කර ඉදලා කිව්වා දුවව ඔෆිස් එකට එක්ක එන්න කියලා සර්ට පොඩ්ඩක් කතා කරන්න"

"ඉතින් මහීපාල එක්ක ආවද"

"ඔව් මිස්. අපේ සර් දුවත් එක්ක පැයක් විතර කතා කර කර හිටියා. එදා ගෙදර ගිහින් දුව හොඳටම ඇඬුවා. කාත් එක්කවත් කතා කරේ නෑ. ඒත් රෑ මැද අඬාගෙන පවුලයි මායි නිදාගන්න කාමරේට ඇවිත් අපිට වැදලා පොරොන්දු වුණා එදායින් ඒ සම්බන්දෙ ඉවර කරනවා කියලා"

"ඉතින් එහෙම කරාද"

"කිව්වට විශ්වාස කරන එකක් නෑ මිස්. එදායින් එදා කෙල්ල ඌ ඉන්න දිහාවත් බැලුවෙ නෑ.  මාරුවකුත් හදාගත්තා හම්බන්තොටට"

"දැන් ඒ සම්බන්දෙ නැද්ද"

"මේක වෙලා ටික කාලයක් මිස්. මිනෝලි මිසුත් ඉන්න කාලෙ.  දැන් දුව බැඳලා පොඩි දුවෙකුත් ඉන්නවා. පොඩි එකී වඩාගෙන ගෙදර ආව දවසෙ තමයි කෙල්ල අපිට කිව්වෙ සර් එදා කියපු ඒවා"

"අයියා මොනාද මහීපාලගෙ දුවට කියලා තියෙන්නෙ"

"සර් බැන්ඳෙ දෙමව්පියන්ගෙ අකමැත්තෙන් කියලා සර් හරි වේදනාවෙන් කියලා තිබ්බෙ. කසාදෙන් සර්ට හොද වයිෆ් කෙනෙක් ලැබුණට අම්මා තාත්තා නංගිලා මල්ලිලා සේරම නැති වුණා කියලා සර් අපේ කෙල්ලටත් අවවාද කරලා තිබ්බා තියෙන බැඳීම් එහෙමම තියාගෙන මිස අලුත් බැඳීම් හදාගන්න හදන්න එපා කියලා" මට එක්වරම මතක් වූයේ ජනකගේ අයියා ඔවුන්ගේ පියාගේ  මළගෙදර දා අපට දුන් අවවාදයය. ඔහු වෙනත් අයුරකින් කිව්වේත් ලොකු අයියා මහීපාලගේ දියණියට කියා තිබෙන්නේත් එකම කතාවය.

"ජීවිතේ අපායක් වෙන්න තිබ්බ එක නැවතුනේ සර් නිසා කියලා අපේ කෙල්ල සර්ට සලකන්නෙ දෙවියෙකුට වගේ. කෙල්ලට විතරක් නෙවෙයි මිස් අපේ මුළු  පවුලටම සර් කරේ ලොකු උදව්වක්. ඒ කසාදෙ කරගත්තොත් පවුලෙන් අයින් කරනවා කියලා මමත් ඒ කාලෙ කෑ ගැහුවා. ඒත් එක හිතකින් එහෙම කරන්න පුළුවන්නෙ මොන තාත්තටද මිස්. මට තව දරුවො දෙන්නෙක් ඉන්න බව හැබෑව. ඒත් ඉස් ඉස්සෙල්ලාම මට තාත්තා කිව්ව දරුවව මට අමතක කරන්න පුළුවන්ද"

ලොකු අයියාගේ රියදුරු වූ මහීපාල සිතන අයුරින් අපේ අප්පච්චීටත් සිතන්නට පුළුවන්කමක් තිබුණා නම් අපේ ජීවිත කොයි තරම් වෙනස් වන්නට ඉඩ තිබුණිද?. මහීපාලගේ දියණියට ලොකු අයියා අවවාද කළ අයුරින්, ජනකගේ අයියා අපට අවවාද කළ අයුරින් එදා ලොකු අයියාටත් අවවාද කරන්නට කෙනෙකු සිටියානම් ලොකු අයියගේ ජීවිතය කොයි තරම් වාසනාවන්ත වන්නට ඉඩ තිබුණිද?. වැඩිහිටියන් දුර දිග නොබලා ගන්නා තීරණ වලින් අවසානයට දුක් විදින්නට සිදු වූයේ හය හතර නොතේරෙණ සිඟිත්තියකටය.

"මිස් මං ලේ එකක් චෙක් කරන්න දුන්නා. විනාඩියෙන් ඒක අරන් එන්නද" වෛද්‍ය රසායනාගාරයක් අසල රිය නතර කළ මහීපාල මගේ සිතුවිලි වලට විරාමයක් තැබීය. ඔහුගේ කතාව ඔස්සෙ හිතමින් ලොකු අයියගේ ජීවිතයේ අතීතයත් වර්තමානයත් ගලපමින් සිටි මා හිස සලා ඔහුට පිළිතුරු දී රිය කවුළුවෙන් එපිට නෙත් රැදවූයේ නිකමටය. හිස් බැල්මකින් වටපිට බැලූ මා කිහිප වරක් ඇසිපිය සලා යළි පිටත බැලුවේ ඒ දකින්නේ සිහිනයක්දැයි දැනගන්නටය. අපට තරමක් ඉදිරියෙන් නතර කළ කළු පැහැ මෝටර් රථයකින් බැසගත් සමීර රියදුරු අසුනේ වූ පුද්ගලයාට මොකක්දෝ කියා ඉක්මන් ගමනින් ෆාමසියක් තුලට ගියේය. ඔහු යන දෙසම බලාසිටි මට මා සිටින තැනවත් ඔහු වෙනත් කෙනෙකුට අයිති බවවත් මතක තිබුණේ නැත. අතීතයේ ඔහු ළඟ ගෙවුන සෑම තත්පරයක්ම එකවිට මනසේ සිතුවම් වෙද්දී  දෙනෙත් තදින් පියාගත් මා දෙනෙත් හැරියේ එදා මා වශී කළ හඬ යළිත් ඒ රිය අසලින් ඇසෙන විටය.

"ඒකෙත් නෑ. හොස්පිටල් එක පැත්තෙන් බලමු" කියාගෙන ඔහු රියට නගිනවාත් සමගම එය වේගයෙන් ඉදිරියට ඇදුනේ තවත් තත්පරයකට හෝ ඒ රුව දැකගැනීමට තිබූ අයිතිය නැති කර දමමිනි.

මහීපාල නැවත රිය වෙත එනවිට කඳුළු නොපෙනෙන්නට මා දෙනෙත් පියාගෙනම සිටි නිසා ඔහු කතා නොකරම රිය පැදවීම මට සහනයක් විය. කාර්‍යාලය අසලදී අසිහියෙන් මෙන් රියෙන් බැසගත් මා කාමරයට ඇතුළුවන විට දුරකතන සංවාදයක සිටි ලොකු අයියා මගේ ස්වභාවය දැක කලබලෙන්ම ඇමතුම විසන්දි කොට මා අසලට පැමිණියේය.

"ඇයි චූටි මැණික සනීප නැද්ද" මා නළලත තදින් පිරිමදිනු දුටු ඔහු නළලටත් ගෙලටත් අත තැබුවේත් කිසිවෙකු හෝ දොරට තට්ටු කළේත් එකවරය.

"එන්න" කියමින් මදක් පසකට වූ ලොකු අයියා "ඇයි මහීපාල" කියා අසද්දී මමද හිස හරවා දොර දෙස බැලුවෙමි. මා රිය තුල අමතක කර පැමිණි කෑම පාර්සලය මහීපාල අත විය.

"මිස්ට කෑම එක අමතක වෙලා සර්" අඩියට දෙකට ඔහු අසලට ගිය ලොකු අයියා කෑම එක රැගෙන දොර වසා දමා මා අසලට ආවේ  "මොකද චූටි මැණික සනීප නැද්ද නැත්තන් හිතේ ලෙඩක්ද" අසමිනි.

"මගෙ ඔළුව රිදෙනවා" කියමින් මම හිස මේසය මතින් තබාගන්නට තැත් කළද ඔහු අත් දෙකෙන්ම මගේ හිස එසවූයේ "ඔළුව රිදෙනවට අඬන්න ඔයා පොඩි ළමයෙක් නෙවෙයිනෙ" කියා තරවටු කරමිනි.

"මට ආපහු වැඩට එන්න බෑ" එක්වරම නළල රැලි කරගත් ලොකු අයියා මොහොතක් කල්පනා කර ඉන්පසු මේසයට හේත්තු වී මගේ උරහිස මත අතක් තැබුවේය.

"ඔයාට මෙතන කවුරුහරි මොනාහරි කිව්වද"

"නෑ"

"එහෙනං"

"දෝණි කියනවා එයාට තනියි කියලා"

"දෝණිට තනියම ඉන්න බැරිනම් ඔයාට කලින් ගෙදර නතර වෙන්න ඕනි මමනෙ. නිකන් බොරුවට පොඩි එකී අල්ලන්නැතුව මං එක්ක වැඩ කරන්න බැරිනං කෙලින් කියන්න" කිසිදාක නොවුන තරමට ලොකු අයියාගේ හඬ දැඩි වූයෙන් මා බිම බලාගත්තේ ඉන් එහා කතා නොකරන්නට සිතමිනි.

"ඔයා නෑ කිව්වට ඔයාගෙ හිතේ මොකක් හරි ප්‍රශ්ණයක් කරකැවෙනවා. ඒක මේ දැන් එළියට ගිය ඩිංගට වෙච්ච දෙයක් වෙන්ඩ ඕනි. හරි ඔයාට කියන්න බැරිනං මමම හොයාගන්නංකො" කියමින් මේසය අසලට ගොස් ලිපිගොනුවක් පෙරලාගෙනම මා දෙස බැලූ ඔහු "මූණකට සෝදගෙන කෑම කාලා ලෑස්ති වෙන්ඩ පොඩි වැඩක් කරන්න තියෙනවා" කියා ලිපිගොනුව කේන්තියෙන් මෙන් මේසය මතට අත්හැර කාමරයෙන් පිට විය.

කිසිවෙක් නොමැති තැනකට වී ඉකිගසා හඬන්නට මිස කෑම කෑමට හෝ වෙනත් රාජකාරි කටයුත්තක් කරන්නට මට අවශ්‍යතාවයක් නොවූයෙන් මා මේසයට හිස තබාගත්තේ ලොකු අයියාගේ කේන්තිය ගැන නොසිතමිනි.

මා අසීමිතව ආදරය කළ මට ආදරය කළා යැයි මා වරදවා වටහාගෙන උන් සමීර වෙනත් යුවතියක් හා ජීවිතය බෙදාගන්නට පොරොන්දු වී ඇති බව අසා නොකියාම ඔහුගෙන් සමුගත් මා ඒ දුක දරාගත්තේ මිනෝලි අක්කාගේ අකල් වියොවින් කම්පනයට පත් සිඟිති දියණියත් ලොකු අයියාත් ගැන සිතමිනි. එහෙත් කාලය විසින් ලොකු අයියාගේ මෙන්ම දියණියගේත් සිත තුල වූ තුවාලය ක්‍රමයෙන් සුවපත් කළද නොසිතූ මොහොතක සමීරව දුටු පසු කිසිදා සුවපත් කළ නොහැකි බව දැන උන් මසිතේ වූ තුවාලය යළි පෑරුණි.

"ඇයි මේ තරහ වෙලාද" අසමින් ලොකු අයියා මා අසලට එනවිටත් මා සිටියේ මේසයට හිස තබාගෙනය.

"මොකද චූටි මැණික. තරහා වෙලාද අඬනවද" මගෙන් පිළිතුරක් නොලැබුන පසු පෙර පැණයම වෙනත් අයුරකින් අසමින්  ඔහු මහිස එසෙව්වේය. ඒ මොහොතේ ඔහුගෙන් කඳුළු සගවන්නට තැත් දැරීම ඵලක් නොවන බව වටහාගෙනම  මා හිස ඔසවද්දී  එක්වරම හිස මත සුරත තැබූ ඔහු මා ළංකරගත්තේ අප සිටින්නේ කාර්‍යාලය තුල බව අමතකව මෙනි.

"මං බැන්නෙ තරහකට නෙවෙයි චූටි මැණික. ඒ ගැන එච්චර හිතන්න එපා. දැන් අඬන්නෙ නැතුව ගෙදර යන්න ලෑස්ති වෙන්න"

"ඇයි ගෙදර යන්නෙ" මගේ කටහඬ ඇසුන පසු මා අමනාපයෙන් නොවන වග තේරුම්ගත් ඔහුගේ මුව කොණකට සිහින් සිනහවක් නැඟුනි.

"ඇයි දැන් ටිකකට කලින් කිව්වෙ ආයෙ මාත් එක්ක වැඩ කරන්ඩ බෑ කියලා"

"ඒ වෙලාවෙ අයියට තරහා ගියාට මං එහෙම හිතලා නෙවෙයි ගෙදර නතර වෙන්න ඇහුවෙ. දෝණි කිව්ව කතාවකට මට දුක හිතුනා"

"ඒවා අපි පස්සෙ කතා කරමුකො. දැන් ගෙදර යන්න ලෑස්ති වෙන්න"

"මං ඊයෙත් කලින් ගියානෙ. අදත් ගියොත් ඒක අයියටත් හොඳ නෑනෙ. ඒක නිසා මං මේ මාසෙ වැඩ කරලම නතර වෙන්නං"

"ඔයා ආයෙ වැඩට එනවද නැද්ද කියන එක ගැන අපි පස්සෙ කතා කරමු චූටි මැණික. දැන් ගෙදර යං. යසාගෙ ලේලිගෙ අම්මා නැති වෙලා. දැන් යසාව ගෙදර යවන්න ඕනි "

"අනේ පව්. අපිත් යන්න වෙයි නේද අයියෙ"

"හෙට දිහාට ගිහින් එමු. දැන් ගෙදර යංකො"

"අයියට වැඩ ඇතිනෙ අයියා ඉන්න මං යන්නං"

"වැඩ නං තියෙනවා තමයි. ඒත් අද මගෙත් හිතට හරි නෑ. ඒක නිසා දෙන්නත් එක්කම ගෙදර යං"

ලොකු අයියා ඔහුගේ මේසය අසලට ගොස් ලිපිගොනු කිහිපයක් මේසය මතට ගෙන පරීක්ෂා කරන්නට පටන් ගන්නවාත් සමගම සමන් කාමරය තුලට ආවේ "මොනවද සර් කාර් එකට දාන්න ඕනි" අසමිනි. "මේ ෆයිල් ටිකයි ලැප්ටොප් එකයි මහීපාලගෙ කාර් එකට දාලා අකවුන්ටන්ට මහත්තයා ගාව තව ෆයිල් දෙකක් ඇති ඒකත් දාන්න. ආ තව මං පමුදි මිස්ට කිව්වා ටෙලිෆෝන් නම්බර්ස් වගයක් හොයලා තියන්න කියලා. මිස්ගෙන් ඒක ඉල්ලලා ඉස්සරහා සීට් එක උඩ තියන්න"

"හොදයි සර්" කියමින් සමන් පිටව ගිය පසු ටයි පටිය බුරුල් කරගත් ලොකු අයියා යළි මා අසලට ආවේ "ඔයා හරිනං යමුද" අසාගෙනය.

"අයියා මහීපාලත් එක්කද යන්නෙ"

"අයියා නෙවෙයි අපි දෙන්නම"

"එතකොට අපේ කාර් එක"

"ඒක ඔහෙ තිබුණාවෙ කවුරුත් උස්සගෙන යන එකක් නෑනෙ. මං මහීපාලත් එක්ක යන්නෙ එතකොට ඒකෙම යසාව ගෙදර යවන්න ලේසිනෙ"

"මං කාර් එක අරන් එන්නද"

"එක ගෙදරට යන්න කාර් දෙකක් මොකටද" ඇසූ ඔහු මට පෙර දොරෙන් පිට වූයේය”

ලොකු අයියාත් මමත් නිවසට ඇතුළු වනවිටම දුවගෙන ආ දියණිය අයියාගේ අතක එල්ලුනේ "නැන්දම්මව රස්සාවෙන් අස් කරලද අප්පච්චි" අසමිනි. පුදුමයෙන් මෙන් දෑස් ලොකු කරගත් ඔහු ඇයව ඔසවා ගත්තේ "නෑ පුතේ මොකටද නැන්දම්මව අස් කරන්නෙ" කියමිනි.

"අප්පච්චි දන්නෑ. නැන්දම්මගෙ බොස් හරි සැරයිලු"

"බොස්ගෙ සැර නැන්දම්මා තාම දැකලා නෑ" කියා මහ හඬින් සිනාසුන ඔහු "නැන්දම්මා තව මොනාද මගෙ පුතාට කිව්වෙ" කියමින් ඇයව තුරුළු කරගෙනම අසුන්ගෙන මා දෙස බැලීය. වාසනාවකට මෙන් ඇය පිළිතුරු දෙන්නට පෙර යසවතී අප අසලට පැමිණියාය. මහීපාලත් සමග ඇය පිටව ගිය පසු ලොකු අයියා දියණිය දෙසට දෑත් දිගු කළේ "එන්න මගෙ පුතා අද අප්පච්චිත් එක්ක දොයියන්න" කියමිනි. එකත් එකටම ඔහු වේලාසන එන්නට ඇත්තේ දියණිය සමග මොහොතක් නිදහසේ සිටින්නටය.

"බෑ මං දොයියන්නෙ නැන්දම්මා එක්ක" පියාගේ සිතුවිලි තෝර නොගත් සිඟිත්තිය මගේ අතක එල්ලුනේ ලොකු අයියාගේ මුහුණ වේදනාවෙන් අඳුරු කරවමිනි.

"නැන්දම්මා දොයියන්නෙ නෑනෙ පුතේ. ඒක නිසා මගෙ පුතා අප්පච්චි එක්ක දොයියන්න" දෙදෙනාගේම සිත් නොරිදවෙන ලෙස ඇය ලොකු අයියා ළඟට යවන්නට මට උවමනා වුවත් මගේ වදනින් ඇගේ සිඟිති සිතේ වූ බලාපොරොත්තු සියල්ල සේදී ගිය ලකුණු පෙනෙන්නට තිබුණි.

"එහෙනං නැන්දම්මා නාලා එනකල් මගෙ පුතා අප්පච්චි ගාව ඉන්නවද" එයට හිස වැනූ ඇය ඒ වනවිට තරප්පු පෙළේ මග දුරක් ගොස් සිටි ලොකු අයියා අසලට දුව ගොස් දෑත් එසෙව්වාය. "කට්ට කෙල්ල දැන් එනවා මං ළඟට" කියමින් ඇයව ඔසවාගෙන කොපුලක් සිපගත් ලොකු අයියා කාමරයට ගියේය. 

නාන කාමරය තුලට යනවිට සමීර මගේ මතකයෙන් බැහැර වී ඒ වෙනුවට ලොකු අයියා ගැන වූ අසීමිත අනුකම්පාවකින් මසිත පෑරී තිබුණි.  තම සිඟිති පුතුගේ මුහුණ බලන්නට පෙරුම් පුරමින් සිටි ඔහුට ඔවුන් දෙදෙනාගේ වියොවින් කෙතරම් පීඩනයක් දැනෙන්නට ඇත්දැයි මට තවමත් සිතාගත නොහැක. දස වසරක් ජීවිතය බෙදාගත් ප්‍රියාවිය නොමැති නිවසේ වූ හුදෙකලාව දරාගත නොහැකි තැන වැඩිපුර කාලයක් නිවසින් පිටත සිටින්නට පුරුදු වූ ලොකු අයියාට ඇතැම්විට දැන් දැන් දියණිය ඔහුගෙන් ඈත්ව ඇති බවක් දැනෙනවා වන්නට පුළුවන. උදෑසනින්ම නිවසින් පිටව ගොස් රාත්‍රියේ නිවසට එන පියාට වඩා ඇය ළංවූයේ මුළු දවසම ඇය වෙනුවෙන් වෙන්කරගෙන සිටි මටය. දැන් දැන් ලොකු අයියාට එය දරාගත නොහැකි බව ටිකකට පෙර ඔහුගේ මුහුණ අඳුරු වී ගිය හැටියෙන්ම සිතාගත හැක.

ලොකු අයියගේ ජීවිතයේ හැල හැප්පිලි ගැනම සිතමින් වෙනදාටත් වඩා කාලයක් වතුර මල යට සිටි බව මට මතක් වූයේ දියණියගේ කෑ ගැසීමටය. ඉක්මනින් ඇඳුම් ඇදගෙන තෙත කොණ්ඩය පිසිමින් මා කාමරයට එනවිට ලොකු අයියා ඇද මත වාඩි වී සිටි අතර දියණිය ඒ අසල වැතිරීගෙන සිටියේ මා එන මග බලමිනි.

"මං හිතුවෙ නින්ද ගිහිල්ලත් ඇති කියලා"

"කොහෙ නිදාගන්නද. මෙතනට ගේනකල් කෑ ගැහුවනෙ"

"එහෙනං දැන් දොයියමු. අප්පච්චිට යන්න කියන්න"

"බෑ අප්පච්චිත් මෙතනම ඉන්න ඕනි"

"එහෙනං දැන් අප්පච්චිත් එක්ක දොයියන්න බෑ කිව්වෙ"

"මං අප්පච්චි ගාව දොයියන්න ආසයි. ඒ වුණාට අප්පච්චි නැන්දම්මා වගේ කතන්දර දන්නෑනෙ"

"ඒක නිසාද මගෙ දුව නැන්දම්මා ළඟට ආවෙ" ඇය හිස වනමින් පිළිතුරු දෙනවිට ලොකු අයියාගේ මුහුණ සිනහවකින් ආලෝකමත් විය.

"එහෙනං  මං කතාවක් කියලා දුන්නම අප්පච්චි ළඟට ගිහින් දොයියන්න ඕනි" ඇය එයටද හිස වනන විට පහත්ව ඇගේ හිස සිපගත් ලොකු අයියා ඇදෙන් නැගිට්ටේ සිනහමුසු මුහුණිනි. දොරද යන්තමින් වසාගෙන ඔහු පිටව යනතුරු බලාසිටි මා ඇදට නගින විටම මා දෙසට හැරුණ දියණිය ගෙල බදාගත්තේ "අද මට ලොකු නුවණක්කාර පුංචි ඉවාන්ගෙ කතාව ඕනි" කියමිනි. මා කතාව කියන්නට පටන් ගත්තේ ඉන් අඩක් නිමවීමටත් පෙර ඇය නින්දට වැටෙන බවට අනුමානයෙනි. මගේ අනුමානය නිවරදි කරමින් විනාඩි දහයක් ගත වීමට පෙර ඇය තද නින්දකට වැටුන පසු ඇගේ හිස පිරිමදිමින් උන් මට ලොකු අයියා මා අසලින් අසුන් ගන්නා තෙක්ම නොදැනුනි.

"මෙච්චර ඉක්මනට නින්ද ගියාද"

"හැමදාම කතාව බාගයක් කියනකොට නින්ද යනවා"

"ඔයාට පිං චූටි මැණික. ඔයා මගේ කෙල්ලව අම්මා කෙනෙක් වගේ බලාගන්නවා" ලොකු අයියා මහිස පිරිමදින්නට සූදානම් වන විටම මා ඇද මතින් අසුන්ගත්තේ ඒ අත අල්ලාගෙනය.

"මං මට පුළුවන් හැමදේම කරනවා ලොකු අයියෙ. ඒත් මට අපප්ච්චි කෙනෙකුගෙ ආදරේ දරුවෙකුට දෙන්න බෑනෙ.  ඒක නිසා අයියා පුළු පුළුවන් වෙලවට දෝණි එක්ක ඉන්න බලන්න"

"මට තේරෙණවා චූටි මැණික. මං පහුගිය කාලෙ ගෙදර හිටියෙ රෑට විතරනෙ. ඒක නිසාමද කොහෙද දෝණි දැන් වැඩියෙන් ආදරේ ඔයාට"

"එහෙම එකක් නෑ. ඒත් අයියා දෝණිට මීට වඩා ළං වෙන්න ඕනි. කොහොමත් දුවලා වැඩියෙන් ආදරේ අප්පච්ච්ටනෙ"

"මං දන්නවා චූටි මැණික. පුංචි කාලෙ වෙච්ච දේවල් නිසාද මන්දා මං හරි ආත්මාර්ථකාමියි. මං හැමවෙලේම හිතන්න පුරුදු වෙලා තියෙන්න මගේ පැත්තෙන් විතරයි. මේ ගේ ඇතුළෙ හැම තැනකම තාමත් මට මීනුගෙ සුවඳ දැනෙනවා. වෙලාවකට දෝණිගෙ හිනාව අස්සෙනුත් මට මීනුව මැවිලා පේනවා. ඒක නිසා මං පුළුවන් තරං බැලුවෙ ගෙදරින් පිට ඉන්න. ඒත් මං ඒ ප්‍රශ්ණෙත් හිතලා තියෙන්නෙ මගෙ පැත්තෙන් විතරනෙ. මං ගෙදර නැතිකොට අම්මත් නැති මේ පුංචි කෙල්ලට කොච්චර දුක හිතෙනවා ඇතිද කියලා මං අද වෙනකල් හිතලා තිබ්බෙ නෑ. අනිත් පැත්තෙන් අපි වෙනුවෙන් හැමදේම දමලා ගහලා ආව ඔයා තනියම මේ කෙල්ලවත් බලාගෙන ඉන්නෙ කොහොමද කියලා මං නිකමටවත් හිතුවෙ නෑ"

"දැන් පහුගිය දේවල් ගැන හිතන්න එපා අයියෙ. දෝණි එහෙම ඔයාගෙන් ඈත් වෙලා නෑ. මං එහෙම වෙන්න දෙන්නෙත් නෑ. ඒත් අයියා පුළුවන්නං දෝණි එක්ක ටිකක් ඇවිදින්නවත් යන්න. හවසක බීච් එකට හරි එක්ක යන්න පුළුවන්නෙ. එයා සමනල පාක් යන්නත් ආසයි"

"ඔව්. දවසක් අර මල්ලි එක්ක ගිහින්නෙ දැන් එයා ඔය හොඳ මාමි වෙලා තියෙන්නෙ"

"මොන මල්ලිද"

"මට මගේම කියන්න මල්ලිලා දෙන්නෙක් හිටියට සහෝදරයෙක් වගේ මගේ ප්‍රශ්ණ වලදි උදව් වෙන්න ඉන්නෙ එක්කෙනයි. ඒ තමයි මං අර කිව්ව එකවුන්ටන්ට්"

"දෝණි කොහොමද එයත් එක්ක පාක් ගියෙ"

"ඒක වුණේ දැන් මාසෙකට විතර උඩදි.  ඔයා එග්සෑම් ලියන්න කැම්පස් ගිය දවසක. අර මං දවසක් කිව්වෙ මට මාතර යන්න තියෙනවා කියලා. එදා උදේ මං දෝණි දාන්න මොන්ටිසෝරියට යනකොට ඒ මල්ලි මඟ ඉදලා මං එයාවත් දාගෙන ගියා.  දෝණි ඒ යන ඩිංගට එයත් එක්ක යාළු වෙලා එයා පංතියෙදි ඇදපු චිත්‍ර පෙන්නන්න කියලා ඒ මල්ලිව මොන්ටිසෝරිය ඇතුළටම එක්ක ගියා. මං ඉතින් ටීචටත් එයාව අඳුන්වලා දීලා තමයි ගියෙ. මම මාතර ගියෙ එකොළහ හමාර වෙනකොට එන්න බලාගෙන. ඒත් එනකොට එහෙට හොදටම වැස්ස. ඒ අස්සෙ මිරිස්ස හරියෙ  ගහක් පාරට කඩා වැටිලා ලොකු බ්ලොක් එකක්. එකොළහටත් මං මිරිස්සෙ. මහීපාල කිව්වා තව පැයකටවත් යන්න බැරි වෙයි කියලා. මට ඒ වෙලාවෙ හිතා ගන්න බැරි වුණා දෝණි ගන්නෙ කොහොමද කියලා. මොන්ටිසෝරියට කෝල් එකක් දෙන්න හදනකොට මතක් වුණා උදේ අර මල්ලි මං එක්ක ගියානෙ කියලා. ඊට පස්සෙ මං ඌට දෝණි ගන්න කියලා ටීචටත් කිව්වා ඒ මල්ලිට දෝණි දෙන්න කියලා"

"මෝඩ වැඩ කරන්න එපා ලොකු අයියා. ඔයාට තිබ්බනෙ ඔෆිස් එකේ වාහනයක් ගෙදරට එවලා යසාව මොන්ටිසෝරියට යවන්න"

"මට ඒක මතක් වුණේ පස්සෙ. ඉතින් කොහොමහරි අර මල්ලි දෝණි මොන්ටිසෝරියෙන් අරගෙන. මං කිව්වා මං එනකල් ඔෆිස් එකේ තියාගන්න කියලා. මිනිහට බය හිතිලා කෙල්ල අඬයි කියලා. ඊට පස්සෙ පාක් එක්ක ගිහින් අයිස් ක්‍රීමුත් අරන් දීලා. දෝණි එදා හිටියෙ හරි සන්තෝසෙන්. මට හැමදාම කියනවා හොඳ මාමි බලන්න ඔෆිස් එක්ක යන්න කියලා. අද උදෙත් කිව්වා. මං ඒකමයි දවාලෙ ඔයාව යවලා ඔෆිස් එකට වෙලා හිටියෙත්"

"ඔයා ඔහොම මෝඩ වැඩක් කරයි කියලා දන්නවනං මං විභාගෙ පැත්තක තියලා ගෙදර ඉන්නවා. දෝණි පොඩි බව ඇත්ත අයියෙ. ඒත් ඒ කෙල්ලෙක්. අනෙක අම්මත් නෑ කියන්න කවුරුත් දන්නවා. ඔයා ඔයිට වඩා දෝණිව පරිස්සන් කරන්න ඕනි. මට මතකයි මං දෙකේ තුනේ වගේ පංතියක ඉන්න කාලෙ දවසක් ඉස්කෝලෙදි වැටිලා දණිහිස තුවාල වුණා. ඒ කාලෙ මට කලින් ඉස්කෝලෙ ඇරෙන නිසා සාදිරිස් මාව ගෙදර ගෙනත් දාලා ආයෙ යනවා අයියලාව ගන්න. එදා මගේ කකුළ රිදෙනවා කියපු නිසා සාදිරිස් මාව ගෙට ගෙනිච්චෙ වඩාගෙන. අම්මා ඇයි ඇහුවම සාදිරිස් ගවුම චුට්ටක් උස්සලා අම්මට මගෙ තුවාලෙ පෙන්නුවා. අම්මා ඒ වෙලාවෙ සාදිරිස්ට මොකුත් කිව්වෙ නෑ. ඒ වුණාට හවස හොදටම දොස් කිව්වා. මටත් කිව්වා අයියලා තුන්දෙනයි අප්පච්චියි ඇරෙන්න කිසි කෙනෙකුට වඩාගන්න තියා කකුළකට අතක්වත් තියන්න දෙන්න එපා කියලා. එදායින් පස්සෙ මටත් අයියලා එක්කම ඉස්කෝලෙ ඇරෙන වයස එනකල්ම අම්මා සාදිරිස් එක්ක ඉස්කෝලෙට ආවා මාව ගන්න. ඒ ඒ කාලෙ. අනෙක සාදිරිස් කීයටවත් අපිට වැරැද්දක් කරන්නෑ. ඒත් මේ කොහෙවත් යන මනුස්සයෙක් එහෙම විශ්වාස කරන්න පුළුවන්ද"

මවකගෙන් කතන්දරයක් අසන නොදරුවෙකු මෙන් නිසොල්මන්ව මට ඇහුම්කන් දුන් ලොකු අයියා තදින් මා තුරුළු කරගත්තේය. විනාඩි ගනනාවක් නිහඬවම සිටි ඔහු මහිස සිපගත්තේ "දෝණිට විතරක් නෙවෙයි චූටි මැණික ඔයා මටත් අම්මා කෙනෙක් වගේ" කියමිනි.

"ලොකු මල්ලි ඉපදෙනකොට මට අවුරුදු පහක් විතර. ඒ දවස්වල ඉදලම මට එයාව පෙනුනෙ මගේ හැමදේම උදුරාගන්න ආව හතුරෙක් විදිහට. හැමෝගෙන්ම මට තිබුණ සැලකිල්ල ඉබේටම එයාට ගියා. ඊට පස්සෙ අවුරුද්දෙ හිච්ච් ඉපදුනාම ඒක තවත් වැඩි වුණා. ඒ කාලෙ මට ඒ දෙන්නා ගැනම තිබ්බෙ ඉරිසියාවක්. ඒ වුණාට ඔයා ඉපදුනාට පස්සෙ ඒ සේරම නැතුව ගියා. ඒ ඔයා නංගියෙක් නිසාද නැත්තං ඒ වෙනකොට මං ලොකු නිසාද කියන්න මට තේරුණේ නෑ"

ලොකු අයියගේ ජීවිතයේ වර්තමානය තරමටම නීරස අතීතයක්ද තිබුණ වග මට අවබෝධ වූයේ එවෙලෙහිය. තමාට බාල සහෝදර සහෝදරියන්ට එතෙක් තමාට හිමිව තිබූ සැලකිලි වරප්‍රරසාද හිමි වනවිට ඇතිවන හැඟීම මට කිසිවිටක අත්විදින්නට නොලැබුණද ලොකු අයියගේ වචන තුල එය අපූරුවට ගැබ්ව තිබුණි.

"ඔයා පව් ලොකු අයියා. ඔයා මට කොච්චර ආදරේ වුණත් මමත් ඒ කාලෙ ඔයාව කොච්චර රිදවලා තියෙනවද"

"ඔයා කියපු කරපු දේවල් වලින් මගෙ හිත ඕනි තරං රිදෙන්න ඇති. ඒත් ඒවා මට මතක නෑ. මට අමතක වුණේ නැත්තෙ එකම එක සිද්ධියක් විතරයි "

"ඒ මොකක්ද"

"ඒක ඔයාට මතක නැතුව ඇති. එතකොට ඔයා හිටියෙ හතේ නැත්තන් අටේ"

"මොකක්ද?. ඒ කාලෙ ගොඩක් දේවල් මට තාම මතකයි"

"එදා ඉරිදා දවසක්. ඔයා උදේම දහම් පාසැල් තරඟෙකට යන්න ලෑස්ති වෙලා පුංචම්මා ඔයාට බත් කවනවා. මමත් කැම්පස් යන්න ලෑස්ති වෙලා ඇවිත් මේසෙට වාඩි වුණාම පුංචම්මා ඇහුවා ලොකු පුතාටත් මං කවන්නද කියලා"

"එයාට කවනවනං ආයෙ මට කවන්න එපා කියලා මං නැඟිටලා ගියා. ඒකද" ඔහුටත් වඩා හොඳින් මතකයේ තිබුණ ඒ සිදුවීම මා අතින් ඌණ පූරණය වනවිට ලොකු අයියා මා දෙස බලාසිටියේ පුදුමයෙනි.

"ඇයි ඔයාට ඒක මතක තිබුණෙ"

"එදා තරඟෙත් දිනලා තෑගිත් අරන් ගෙදර ආවට පස්සෙ අම්මගෙන් මට ඊටත් වඩා ලොකු තෑග්ගක් හම්බුණා. ඒක මට කවදාවත් අමතක වෙන්නෑ ලොකු අයියා"

"පුංචම්මා ඔයාට ගැහුවද"

"අම්මා මට කවදාවත් ගහලා නෑ. ඒත් එදා අම්මා මගෙ කණත් මිරිකලා මට හොඳටම බැණ්නා ඔයාට එහෙම කියපු එකට"

"ඇත්තටම ඇයි ඔයා එහෙම කිව්වෙ කියලා මං අදටත් හිතනවා චූටි මැණික. ඔයා මං මේ කියන එක අහලා තවත් හිත රිදවාගන්ඩ එපා. ඒවා වෙලා ඉවරයි. ලොකු අයියගෙ හිතේ ඔයා ගැන පුංචි තරහක්වත් නෑ. මගේ හිතේ ඔයා ඉන්නෙත් දෝණි ඉන්න තැනමයි"

"මොකක්ද"

"මට ඇත්තටම ගෙදර එපාම වුණේ ඔය සිද්ධියෙන් පස්සෙ"

"දැන් සමාවෙන්න කිව්වා කියලා වැඩක් නැති බව මං දන්නවා. ඒත් මට සාමාවෙන්න ලොකු අයියෙ. මං ඒ කාලෙ ඔයාට කැමති නෑ"

"ඇයි ඒ"

"ඔයා අම්මට පුංචම්මා කියන නිසා" මහ හඬින් සිනාසුන ලොකු අයියා දියණිය නිදා සිටි දෙස බලා හිනාව නවතාගෙන  කර උඩින් අත දමා මා ළංකර ගත්තේය.

"ඔයාලා නොදන්නව වුණාට පුංචම්මට ඉස්සෙල්ලම අම්මා කියලා තියෙන්නෙ මං. මං පුංචම්මට අම්මා කිව්වම ඒක පුංචම්මා බඳින දවසක ප්‍රශ්ණයක් වෙයි කියලා අත්තම්මලා තමයි මට පුංචම්මා කියන්න පුරුදු කරලා තියෙන්නෙ. පස්සෙ අප්පච්චිලා ආයෙම මට අම්මා කියන්න පුරුදු කරන්න හැදුවලු. ඒත් මගේ තිබ්බ ඇට්ටර කමට මං එහෙම කියලා නෑ"

"අයියට මතකද ඒවා"

"මොන පිස්සුද. මං ඔය ඔක්කොම දැනගත්තෙ ඊයෙ රෑ සුදු අම්මගෙන්"

" ඔයා ඔය දැන් කියපු සිද්ධිය පස්සෙ කාලෙක ඔයා ගෙදරින් ගියාටත් පස්සෙ මගෙ හිතට හරියට වද දුන්නා. සමහරවිට මං හැමදේම අතෑරලා ඔයා ළඟ නතර වෙන්න ඒකත් එක හේතුවක් වෙන්නැති"

"ඒ එක හේතුවක්නෙ. එතකොට අනිත් හේතු මොනාද"

"ඔයා අක්කව හොස්පිටල් ඇඩ්මිට් කරා කියලා මට කෝල් එක දෙන වෙලාව වෙනකොටත් මං හිටියෙ ගොඩක් දේවල් ගැන කලකිරිලා ලොකු අයියා. ඒත් මං ඒවා මත්තෙම එල්ලිලා ඉන්නැතුව ෆයිනල් එග්සෑම් එක හොඳට කරනවා කියලයි හිතා හිටියෙ. ඒත් ඊට පස්සෙ වෙච්ච දේවල් එක්ක, ඔය දෙන්නා හිටපු විදිහත් එක්ක මට ඔයාවයි දෝණිවයි සති තුන හතරකට තියා දවසකටවත් තනි කරන්න හිතුන්නෑ"

"මං ඔයාට ලොකු වැරැද්දක් කරා කියලා මගෙ හිත මට දොස් කියනවා චූටි මැණික. මීනු නැතිවෙච්ච දවස්වල මං හිටියෙ පිස්සෙක් වගේ. එහෙම ඉන්නකොට ඔයා එන්න කියලවත් අප්පච්චිලා ආවෙ නැති එක ගැන මට ඒ දවස්වල තිබ්බෙ පුදුම කේන්තියක්. කේන්තියකටත් වඩා ඒක වෛරයක් කිව්වොත් හරි. ඔයා පුංචි කමට මගෙ ළඟ නතර වෙන්න ලෑස්ති වුණාම මං ඒකට කැමති වුණේ අප්පච්චිලාට රිදවන්නත් එක්ක. ඒත් අන්තිමට බලනකොට ඒ හැමදේකින්ම විදවලා තියෙන්නෙ ඔයා. එහෙම බැලුවම මං ඔයාට කරලා තියෙන්නෙ අයියා කෙනෙක් තියා හතුරෙක්වත් නොකරන තරමෙ විනාශයක්" කියමින් මා තුරුළු කරගත් ලොකු අයියා මහිස තදින් සිප ගත්තේය.

"මං කවදාවත් අයියා ගැන එහෙම හිතන්නෑ"

"මං ඒක දන්නවා චූටි මැණික. මං කිව්වෙ මගෙ හිතට දැනෙන දේ" කියා හිසට තට්ටුවක් දැමූ ඔහු කාමරයෙන් පිටතට ගියේය.



 

 

 

17 comments:

  1. එකවුන්ටන් මල්ලි...කවුද කියල දැනගන්න ආසාවෙන් ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. මේ අකවුන්ටන් ට මේ වෙනකොට පුදුම ඉල්ලුමක් තියෙන්නෙ පොකුරු. ඔයත් ඒ ගොඩේ කියලා දැනගත්තෙ අද.

      මේ දවස්වල මගේ ෆේස් බුක් එක පිස්සන් කොටුව වගේ. ඒකෙ කමෙන්ට් කියවලා මට පාරෙ යද්දි තනියමත් හිනා යනවා.

      Delete
    2. ඔයා කතාව ගෙනැත් තියල තියනවා, ඒ කුතුහලය දැනෙන තැනට...ඒකයි :)

      Delete
    3. පොකුරු, ඔයාට එහෙම එකක්ද තියෙන්නෙ. මට පේන්නෙ මෙ මගේ යාළුවෝ කීප දෙනෙකුට තියෙන්නෙ වෙන ලෙඩක්. කොහොම වුණත් දැන් සමීරටයි, අකවුන්ටන් ටයි මාර ක්‍රෂ් ගොඩක් තියෙන්නෙ.

      ඔන්න මං අද තිබ්බ කමෙන්ට් එකක් මෙතන කොපි කරානවා.

      // අක්කෙ...ඔන්න දැන්නම් හොඳටම ඇති....මං මේ හොඳින් කියන්නෙ....පීස් මට දෙන්න ඔය ලොකු අයියගෙ ෆෝන් නම්බර් එක....මට එයාට ටිකක් කතා කරන්න ඕන...මේ මනුස්සය තමයි එකවුන්ටන්ට එන්න ඉඩක් දෙන්නෙම නැත්තෙ..හහ්..හැමදාම මේ කෙල්ලට සෙකියුරිටි දාගෙන ගෙදර අරන් යනවා//

      මේවා බලලා මං පාරෙ බැහැලා යන්නෙ කොහොමද බලන්නකො හිනා නොවී

      Delete
  2. එතකොට සමීර ද එකවුන්ටන්ට්???

    ReplyDelete
    Replies
    1. ඔන්න මං ඔයාට විතරක් කියන්නං කාටවත් ඇහෙන්න කියන්න එපා හොදේ

      Delete
  3. මම කියන්න හදන දේ දන්නවනෙ ඉතිං.

    ReplyDelete
    Replies

    1. අනේ මන්දා අද මට මේ කවුරුවත් කියන එව්වා තේරෙණ්නෑ

      Delete
  4. පෝස්ට් එක ගැන මුකුත් නොකිය ඉන්න එක හොඳයි වගේ.. කොහොමත් එහෙම උනොත් පබ්ලිශ් වෙන්නෙත් නෑ නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies

    1. මං කවදහරි එහෙම කරලා තියෙනවද ගස් ලබ්බ. මං පබ්ලිස් නොකරන්නෙ මං ලියපු දෙයක් අගය කරලා තියෙන ඇනො කමෙන්ට් විතරයි

      Delete
  5. විවේචනයක් තියනව, කැමතිනම් පමන් පබ්ලිෂ් කරන්න.
    මේකෙ මට අභව්‍ය සිදුවීම් කීපයක් පේනව.
    ලොකු අයිය තමන්ගෙ නංගිව ඹෆිස් එකේ අයට හඳුන්වා නොදීම.
    අනත් දේ තමයි දැනට කව්රුත් නොදන්නව උනාට එකවුන්ටන් කියන්නෙ සමීර කියන එක.
    මේ වගේ කතා මම දැකල තියෙන්නෙ මහේෂ් සත්සර මද්දුම ආරච්චිගෙ කතාවල

    මෙය පබ්ලිෂ් කරන්නෙ නැත්නම් ඔබෙි අදහස මට ඊ-මේල් කරන්න.edirappuli@gmail.com or Kusumsiri Edirappuli FB messenger

    ReplyDelete
    Replies
    1. කතාව සම්පූර්ණයෙන්ම කියවලා ඉවර වෙලා විවේචන ඉදිරිපත් කරනවට තමයි මං කැමති. නමුත් මං කැමති දේ අනිත් මිනිස්සු කළ යුතු නැති නිසා මං මේක පබ්ලිෂ් කරේ. නමුත් මං ඉල්ලා හිටිනවා ඉවසීමෙන් ඉතිරි ටිකත් රස විදලා ඔබේ විවේචනය ගැන කතා කරමු කියලා.

      මං මේ කතාවෙ මුල ලියලා ඇති අකවුන්ට් සෙක්ෂන් එක වෙනම තියෙන බවක් සහ අයියා අක්වුන්ටන්ට් ව නංගිට අඳුන්වලා දෙන්න හිටියා කියලා කියන කොටසක්. දැනට මං ඊට වඩා මේ ගැන කියන්නෑ. ඔයා සම්පූර්ණ කතාව බලලම ඉන්නකො

      තව එකක්, මේ කතාවෙ හැටියට මේ ළමයා තාම ඔෆිස් එකට ඇවිත් සති දෙකයි

      Delete
  6. //"අද මට ලොකු නුවණක්කාර පුංචි ඉවාන්ගෙ කතාව ඕනි" / ඔය ඉවානයගෙ කතාව අහන්න මාත් ආසයි. ඒකත් ඊලඟ පෝස්ට් එකකින් දාන්නකො.

    ReplyDelete
    Replies
    1. ඔයාට මං එනකොට මොනාද ගේන්න ඕනි කියන්නකො කසුන්. මං මේ කල්පනා කර කර හිටියෙ පස් පඩංගුවේ බැනුම් අහ අහා මේ කතාව තව ටිකක් වටේ ගෙනියන්නෙ කොහොමද යසවතීගෙ මළ ගෙදරවත් යනවද කියලා.

      ඔන්න ඔයා මට නියම තැනක් අල්ලලා දුන්නා. මං දැන් මෙහෙම කරන්නං. මේ අයියයි නංගියි කියවා කියවා ඉන්න අතරෙ පොඩි එකීව ඇහැරවගන්නං .ඊට පස්සෙ පොඩි එකී කියනවා කතාවෙ ඉතිරි ටික කියන්න කියලා. ඊට පස්සෙ මං ඒක ලියන්නං. පස්සෙ බැරියැ වෙලාවක් තිබ්බොත් මේකෙ ඉතිරි ටික ලියන්න. මොකද කියන්න්නෙ.

      කසුන්, මං වැඩියම කියලා දීලා තියෙන්නෙත් ඔය කතාව.ඒ ගැන මට රස කතාවකුත් තියෙනවා. මං වෙන වෙලාවක ලියන්නං

      Delete
  7. හා හා ඉක්මණට ලියන්න.. නැත්නම් දන්නවනෙ මං කරන දේ..!!

    ReplyDelete
    Replies
    1. මේ මට දැන් ඔයත් එක්ක පොඩි ගිවිසුමක් ගහගන්න ඕනි. මුලදි දවසක් දෙකක් බ්‍රේක් ගත්තට මං දැන් දිගටම කතාව දෙනවනෙ. ඒ නිසා ඔයා මං මේ කතාව ඉවර කරාට ලබන මාසෙත් වැස්ස දෙන්න ඕනි. වැඩිය ඕනි නෑ උදෙ 8-9 අතරෙ පොඩි පොදක් දෙන්නකො

      Delete
  8. Mata nam kiyanna thiyenne me tika, mama ewa point widiyata daannam, mage tab eke sinhala typing bae. Ekanisa singlish walin liyannam, sama wela mage comment eka serama balanna
    1. Kisima galapeemak nae
    2. Liyapu style eka hoda madi
    3. Saampradayika kathawak
    4. Charitha serama maruna charitha wage
    5. Artificial
    6. Not realistic
    7. Kiyawanna kammaliy
    8. Neutral
    9. Paatakaya modayek karala atha
    10. Athishayokkthiyak pamani
    (Ihatha comment 10 virudda adahasa thamay attatama mage adahasa)
    Excellent. Podi adupaaduwak thiyenawa. Kathawa diga madi. Ikmanata iwara una. Dukay appa.
    Thanks

    ReplyDelete