"අපි බුක් ෂොප් එකට ගිහින් එනකල් ඔයා කන්ඩ පටන් ගන්න භගී. නැත්තං වෙලා යයි" ඉන් දෙදිනකට පසු උදෑසනක පවනි මනූජා සමග පිටව ගියේ මා ආපනශාලාවේ තනිකරමිනි. ඉක්මනින් කෑම කෑම ඔවුන් දෙදෙනාටම කළ හැකි වුවත් මට ඒ වේගයට පුරුදු වීම අපහසු විය. අප්පච්චී
ළඟ සිටියදී කෑම බීම තේරිමට ඉඩක් නැති නිසා පුංචි කාලයේදී අකමැති දේවල් කෑමට වැඩි වෙලාවක් ගැනීම නිසාම ඇති වූ පුරුද්දද අනෙකුත් බොහෝ පුරුදු මෙන්ම වයසින් වැඩෙත්ම වෙනස් වූයේ නැත. පුංචි කාලයේ ඉදහිටක පොඩි අයියා මැසිවිලි නැගුවද අනෙක් සිව් දෙනාටම මා කෑම කා අවසන් වනතුරු නිහඬව බලා සිටීමට තරම් ඉවසීමක් තිබූ නිසාම සරසවියට එනතුරුම මට මගේ කෑමේ වේගය ඒ හැටි ගැටළුවක් වූයේ නැත.
තනිව ගොස් කඩල පිඟානක් මිළදී ගත් මා එහි ඇට එකින් එක පරික්ෂා කරමින් කන්නට පටන් ගත්තේ පෙරදිනක ගුල්ලෙකු හැපුන බව කියමින් පවනි කෑ ගැසූ අයුරු මතක් කරමිනි.
"යාළුවෝ දෙන්න එනකල් මට ඔයාව බලාගන්න කිව්වා" නොසිතූ මොහොතක සමීර මා අසලින් අසුන්ගත්තේ කෑම රුචියද පලවාහරිමිනි. කෑමට පිරියක් නැතත් ඔහුගෙ මුහුණ මඟහැර පිඟාන දෙස බලා සිටිය හැකි නිසා මම කෑමේ වේගය තවත් අඩු කළෙමි.
"ඔය කනවද අතගානවද?" එයට යන්තමින් සිනාසුන මා නැගිට්ටේ අත සෝදාගන්නටය.
"ඔය කාලා ඉවරද. අපෝ අපෝ කෑම නැවැත්තුවෙ මං ආව නිසානම් මං යන්නං. ඔයා හොදට කාලා
ලෙක්චර්ස් යන්න"
"අයියා ඉන්න. මට කෑවා ඇති. ඒකයි" ඒ සරසවිය බවත්, මා සරසවි ශිෂ්යාවක බවත් මතකයට නැගුන සැනින් මට මා අතින් සිදුවන්නට ගිය වරද නිවරදි කරගත හැකි විය.
"ඔය කඩල ඇට දහයක් කාලා ඇතිද. ඔයාට බඩගිනි වෙයිනෙ"
"කන්න බෑ" කියමින් මා එතනින් ඉවත්ව
ගොස් අත සෝදාගෙන එනවිට
සමීර පෙනෙන්නට නොසිටියේය. පවනිලා එනතුරු එතනම සිටිය යුතු නිසා මා යළිත් උන් තැනම අසුන් ගත්තේ තවත් මොහොතක් හෝ ඔහු අසල රැදෙන්නට තිබුණා නම් යන සිතුවිල්ලෙනි.
"මං ප්ලෙන්ටි දෙකක් අරන් එනකල් මේ මොනාහරි කන්න" මගේ
සිතුවිල්ල හඳුනාගෙන මෙන් ආපහු මා ළඟට ආ සමීර කෙටි කෑම පාර්සලයක් මා ඉදිරියෙන් තබා සිසුන් අතරී නොපෙනී ගියේ මට කිසිවක් සිතා ගැනීමට ඉඩ නොතබමිනි. දිවයින පුරා විහිදි ශාඛා ජාලයක් ඇති ප්රසිද්ධ බේකරියක නමක් මුද්රණය කර තිබූ පොලිතීන් බෑගයේ කෙටි කෑම වර්ග කිහිපයක්ම තිබුණත් මට ඊට අතක්වත් තබන්නට නොසිතුනි. ඉන් මොහොතක පසු තේ කෝප්පයක්ද මා අසලින් තබා ඊට යාබද අසුනේ සමීර අසුන් ගත්තේ "කෑවෙ නැද්ද" අසාගෙනය. මම හිස දෙපසට වැනුවෙමි.
"වෙලා යනවනෙ දරුවො කන්න එපැයි. ආ ඕනි දෙයක් අරගෙන කන්න"
"කොහෙන්ද මේ"
"මේ" සිනාසෙමින්ම ඔහු ඇඟිල්ල තබා පෙන්වූයේ කවරයේ මුද්රණය කර තිබූ නමය.
"අයියට කොහෙන්ද"
"මං ගෙදර ඉදලනෙ එන්නෙ. ඒ එනකොට අරන් ආවෙ. ආ ඉතින් කන්න ප්රශ්ණ අහ අහා ඉන්නැතුව"
"මං කාලා ඔයාට මදිවෙයිනෙ"
"පණ්ඩිතකම තියලා මේක කාලා ඉන්න" පේස්ට්රි එකක් මා අත තැබූ ඔහුද ඉන් එකක් කන්නට ගත්තේ තේ කෝප්පයද ළංකරගනිමිනි. එකත් එකටම ඔහු ඒවා ගෙනෙන්නට ඇත්තේ පෙම්වතියට විය යුතුය. කට ළඟට ගත්තද මට එය කන්නට පිරියක් නොවුයේ එනිසාය.
"ඕක කන්න බැරිනම් මේ වෙන මොනාහරි කන්න. පරිප්පු වඩේ තියෙනවා රෝල්ස් තියෙනවා" ඔහු නැවතත් කෑම බෑගය මා ළඟින් තැබීය.
"නෑ මේක කන්නං" ඔහු දුන් පේස්ට්රියම මා කන්නට පටන් ගනිද්දී ඒ දෙතොලතර සිහින් සිනාවක් ඇඳුනි.
"ෂා කොහෙන්ද පේස්ට්රි" කියාගෙන දුවගෙන ආ මනූජා මා අත ඉතිරිව තිබූ භාගය උදුරාගෙන ඉන් අඩක් පවනිට දිගු කළාය.
"පේස්ට්රි නම් නෑ. ඒත් මේකෙ තව කෑම තියෙනවා. ආ කන්න" කියමින් සමීර මා අසල වූ බෑගය ඇයට පේන්නට විවෘත කළේය.
"ඔයානං අයියෙක් නෙවෙයි දෙයියෙක්නෙ" කියා ඇය රෝල්ස් එකක් අතට ගනිද්දීම සමීර නැගිට ගියේ සිනාසෙමිනි.
ඔහු ගිය වහාම පවනි මා අසලින් ඉදගත්තේ "තෑන්ක්ස් භගී" කියමිනි
"මට මොකටද තෑන්ක්ස් කරන්නෙ. මමයැ ගෙනාවෙ"
"ගෙනාවෙ උඹ නෙවෙයි උනාට මිනිහා මෙව්වා උස්සගෙන්න එන්ඩ ඇත්තෙ උඹ නිසානෙ. ඇත්තමයි නියමයි භගී. ගැට්ටයියා උඹට නියමෙට මැච් වෙනවා"
"පිස්සු නැතුව ඉන්න පවනි. මං ඒ අයියත් එක්ක කතා කරලත් තියෙන්නෙ එක දවසයි"
"එක දවසට මෙහෙමනං හෙට අනිද්දට අපිට බුරියානිත් කන්න පුළුවන් වෙයි" මනූජා වඩේ එකක් අතට ගත්තේ පවනිගේ සරදමට එකතු වෙමිනි.
"ඔයාලා එහෙනං කාලා එන්න. මං යනවා ලෙක්චර් හෝල් එකට"
"ඇයි උඹ කලින් ගිහින් දොරවල් අරින්නද?. පිස්සු නැතුව මෙන්න මෙහෙන් හිටපන්" පවනි අතින් ඇද මා නතර කරන විටම මෙන් සමීර නැවතත් අපේ මේසයට ආවේ තේ කෝප්ප දෙකක්ද රැගෙනය. ඔහු ඒ දෙක පවනිත් මනුජත් ඉදිරියෙන් තැබුවේ මා දෙස බලාගෙනය.
"ඔයානං මාරයි අයියෙ. මෙහෙම සීනියර්ස්ලා ඉන්නවනම් හැමදාම උනත් කැම්පස් ඉන්න බැරියැ"
"හැමදාම කැම්පස් ඉන්න ඕන්නං හොදට වැඩ කරලා ක්ලාස් එකක් දාගන්ඩ වෙයි"
"මෙහෙම ළඟට කන්ඩ බොන්ඩ ගෙනත් දෙන්න කෙනෙක් ඉන්නවනං ක්ලාස් එකක් නෙවෙයි ලෙක්චර් හෝල් එකක් හරි දාගන්න බැරියැ. නැද්ද භගී"
"මං දන්නෑ ඕවා"
"උඹ ඉතින් දන්නෙ මොනාද?. කොළඹ ඉදලා නුවරට තනියම බස් එකේවත් යන්න දන්නවයැ"
"හරි හරි. යාළුවො ටික රණ්ඩු කරගන්නැතුව කාලා බීලා ඉවරනං දැන් යන්න ලෙක්චර් එකට"
"අද කලින් කෑව නිසා තව වෙලා තියෙනවා අයියෙ. ඔයාගෙ කෙල්ලට ගෙනාව කෑම අපිටත් දුන්නට පිං හොදේ"
"බොරු කියන්නෙ මොකටද. ඕවා ගෙනාවෙ නං කෙල්ලෙකුට තමයි. හැබැයි මගේ කෙල්ලට නෙවෙයි" ඔහු අන්තිම ටික කිව්වෙ මා දෙස බලාගෙනය. ජිවිතයේ කිසිදිනක මට මා කෙරෙහි නොදැනුන ආත්මානුකම්පාවකින් දෑස් බොඳ වෙනවාත් සමග මම බිම බලා ගත්තේ පවනි හෝ මනූජා මගේ වෙනසක් දකීදෝ යන බයටය.
"පොඩී" මා යලි හිස එසෙව්වේ සමීර අත්පුඩියක්ද ගසමින් කාටදෝ අඬගසන හඬටය.
"ඔයා අද කලින්ම ආවද?. මං මේ ඔයාට පණිවිඩයක් තියන්ඩ කවුරුහරි ඉන්නවද බලන්න ආවෙත්" කියමින් ඔහු අසලින් සිටගත්තේ ඇඟටම තද වූ නිල් ඩෙනිම් කලිසමකට සුදු පැහැ කෙටි ටී ෂර්ට් එකක් ඇඳ සිටි සිහින් සිරුරක් හිමි රූමත් යුවතියකි. ඇය පසුපසින් ආ ඇගේ යෙහෙළිය මා දෙස බලා සුහද සිනාවක් පෑවාය. පෙරදිනක මා සමීරගේ පණිවිඩය ලබාදුන්නේ ඇයට බව මගේ මතකයට ආවේ ඉන්පසුය.
"මොකක්ද සමීර. කුණුකම නැතුව ෆෝන් එකක් ගන්නකො" මා සමග සිනාසුන යුවතිය සමීරට කතා කරේ ඔහුගේ උරහිසට පහරක් ගසමිනි.
"මේ වසුන්දරා...අතපය වීසි කරන්නැතුව කතා කරනවද" ඈ හැසිරුන ආකාරයට ඒ ඔහුගේ පෙම්වතිය බව මම අනුමාන කරමින් සිටියද සමීර නුරුස්නා හඬින් කතා කළේ ඇගේ මුහුණවත් නොබලමිනි.
"ෆෝන් එකක් ගත්තනං අතපය නෙවෙයි මූණවත් පේන්නැතුව කතා කරන්ඩ තිබුණනෙ"
"මං ගන්නෙ මට ඕනි දේවල් විතරයි. ඒ ගැන කවුරුත් කරදර වෙන්ඩ ඕන්නෑ"
"ඔන්න ඉතිං දෙන්නා එල්ලෙන්ඩ පටන් ගන්නවා. මෙයා කැන්ටිමේ ඉන්නවා කියලා දන්නවනං මං කීයටවත් ඔයා එක්ක එන්නෑ" කියමින් මුලින් සමීර හා කතා කළ යුවතිය වසුන්දරා දෙස බැලුවේ නෝක්කාඩුවෙනි.
"දැන් මොකටද මාව හෙව්වෙ. බඩගිනි වෙලාද. මට කිව්වෙ ලෙක්චර්ස් ඉවර වෙන්නෙ දහයට කියලනෙ " පවනිත් මනූජත් මමත් මුහුණින් මුහුණ බලාගත්තද තරමක් කේන්තියෙන් මෙන් කතා කළ සමීරට අපි එතන සිටින බවක්වත් මතක නොතිබිණි.
"අද ලෙක්චර්ස් යන්න විදිහක් නෑ හලෝ. ප්රභාට පොඩි කරදරයක් වෙලා" මුලින් සමීර ළඟට ආ යුවතිය කතා කරන්නට ගත්තේ අප තිදෙනා දෙසම බලමිනි.
"ඇයි"
"අවන්ත ඇක්සිඩන් වෙලා"
"අමාරුද"
"වැඩි විස්තරයක් දන්නෑ. උදේ ලෙක්චර් එකට යනකොටම පණිවිඩේ ආවෙ. තරංගලා ප්රභාව එක්ක ගියා. අපිත් දැන් යන්න හදන්නෙ"
"මාව හෙව්වෙ ඇයි. යන්නද"
"නෑ. යන්න නං අපේ කොල්ලො ටික ඉන්නවා"
"එහෙනං"
"අම්මට කිව්වොත් යන්ඩ දෙන්නෑ. අප්පච්චි ෆෝන් එකට ආන්සර් කරන්නෑ.මට ඉතින් බල බලා ඉන්න විදිහක් නෑ මං මෙයාලත් එක්ක යනවා. මං එන්න පරක්කු උනොත් ඔයා අම්මව පොඩ්ඩක් ෂේප් කරනවද"
"මට බෑ බෙල්ල ගහලා යන වැඩ කරන්ඩ"
"බයවෙන්ඩ එපා. මං අප්පච්චිට මැසේජ් එකක් යැව්වා"
"එතකොට කෑම. ඔයා එනවා කිව්වෙ දහයට නිසා මං තාම ගෙනාවෙ නෑ"
"කමක් නෑ. යන ගමන් මගින් මොනාහරි කනවා"
"එහෙනං පරිස්සමින් යන්ඩ"
"ඔයා ළඟ තියෙනවනම් මට රුපියල දෙදාහක් විතර දෙන්ඩකො. මගෙ අතේ තියෙන්නෙම පන්සීයයි"
"අතේ නැතුවට පොතේ ඇතිනෙ. යන ගමන් ගන්ඩ"
"ගන්නෙ කොහෙද හලෝ. කාඩ් එක මිසිං. පොත ඉතින් මගෙ අතට දෙන්නෑනෙ"
"මිසිං කියන්නෙ. හෙව්වෙ නැද්ද"
"මිසිං කිව්වට ඔය කොහෙහරි තිබිලා අම්මා අරන් තියලා ඇති.ඉල්ලන්ඩ බයේ ඉන්නෙ"
"මගෙ ළඟත් තියෙන්නෙම දාහයි. එහෙනං පන්සීය දීලා මේක අරන් යන්න" මදක් ඉස්සී කලිසම් සාක්කුවේ වූ පසුම්බිය අතට ගත් සමීර එහි තිබූ දාහේ
නෝට්ටුවක් ඇය අත තබමින් පැවසීය.
"එන්න රෑ වෙයිද" ඇය දුන් මුදල පසුම්බියට දමාගන්නා අතරේ ඔහු ඇසුවේ යන්තමින් හිස හරවා ඈ දෙස බලමිනි
"කියන්ඩ බෑ"
"රෑ උනොත් කොට්ටාවෙදි කෝල් එකක් දෙන්ඩ. මං පාරට ඇවිත් ඉන්නං. හැබැයි හතට කලින් ආවොත් දහරලාගෙ ගෙදරට ගන්න. මං අද එහෙ"
"වෙනදට එහෙ යන්නෙ සඳුදනෙ"
"ඒ ළමයට අනික් සබ්ජෙක්ට් දෙකත් අමාරුයි කියලා ආන්ටි ඇහුවා ඉඩ තියෙන වෙලාවට ඒ දෙකත් ටික ටික හරි කියලා දෙන්ඩ බැරිද කියලා"
"ඉබ්බා දියට දාන්ඩද ඇහුවම ඇන්නෑවෙ කිව්වලු. තමුසෙත් පැනලා බාරගන්ඩ ඇති"
"විකාර කියවන්නැතුව යනවා යන්ඩ"
"දහරා කියන්නෙ කවුද ඉන්දු" වසුන්දරා ඇසුවේ ඇය නොදන්නා යුවතියක් සිටිය
නොහැකි ගානටය.
"දැනටනං මෙයාගෙ ගෝලයෙක්. පස්සෙ ඉතිං කවුරු වෙයිද කියලනං මං දන්නෑ"
"කවුරු වෙන්නද" කේන්ති ගිය බවක් පෙන්වමින් ඇසුවත්
සමීරගේ හඬ තුල වූයේ විනෝද ස්වරයකි
"ඒවා මං දන්නෑ. මට දවසක් අම්මා අප්පච්චි එක්ක කියනවා ඇහුනා නාලිකා ආන්ටි ඔයාට මාර ආදරෙයි කියලා බෑණා කරගන්ඩවත් හිතේ තියෙනවද දන්නෑ කියලා"
"මේ යනවා යනවා මෙතන විකාර කියවන්නැතුව"
"එහෙනං රෑ උනොත් පාරට එනවනෙ"
"එන්නං හැබැයි ට්රාන්ස්පෝට් වලට ගෙවන්න ඕනි"
"දෙන්නං දෙන්නං මොනාද ඕනි"
"සෙනසුරාදට ඩෙනිමක් හෝදලා දුන්නොත් හොදටම ඇති"
"ඩෙනිම් හෝදන්නෙ
කවුද හලෝ. ඕනිනං මං දහරව යාළු කරවලා දෙන්නං" කියා සිනාසුන ඇය සමීර සිතන්නටත් ප්රථම එතනින් පැන ගියාය. මනූජා මෙන්ම පවනිද සිටියේ සිනාසෙමිනි.
"කාඩ් කුඩේ කුඩු නේද අයියෙ"
"යනවා යනවා අනුන්ගෙ කුණු හොයන්නැතුව.තව විනාඩි දහයයි තියෙන්නෙ"
"අපෝ අපිට විනාඩි දෙකක් හොදටම ඇති. ඔයා මේ අපිව එලවා ගන්ඩ හදන්නෙ හොර අහුවෙයි කියලා බයට"
"මොන හොරද"
"දහරා ලස්සනද" මනූජා සමච්චලයට මෙන් අසද්දී සමීරගේ කට කොණකට සිනහවක් නැඟුනි. දහරා වසුන්දරා හා ඉන්දිරා අතරින් ඔහුගේ පෙම්වතිය කවුරුන්දැයි හදුනාගත නොහැකිව උන් මා සමීර දෙස බැලුවේ මනූජාට ලැබෙන පිළිතුර දැනගන්නටය.
"ඔව්. ලස්සන චූටි හුරුබුහුටි කෙල්ලෙක්" එතනින් නැගිට යන්නට උවමනා වුවත් එය නුසුදුසු නිසා මා සිටියේ බිම බලාගෙන හැඟීම් යටපත් කරගෙනය.
"අර ඔයාගෙ පොඩී කිව්වා වගේම ගෝලයා හොදට අල්ලලා යනවා වගේ නේද?"
"ඔව් ඒ ළමයගෙ වැඩ හොදයි. මං මුලින් කැමති වුණෙත් නෑ උගන්නන්ඩ. ඒ ළමයා කාලයක් ලෙඩ වෙලා ඉදලා ඉස්කෝලෙ ගිහින් නෑ කිව්ව නිසා පව් කියලයි ඒ ක්ලාස් එක පටන් ගත්තෙ. ඒත් දැන් ඒ ළමයා මගේ අනිත් ගෝලයෝ ඔක්කෝටම වඩා හොදට වැඩ කරගෙන යනවා"
"බෑ කිව්වෙ කෙල්ල දකින්ඩ කලින් වෙන්නැති"
"තමුසෙලාටත් ඕන්නැති දෙයක් නෑනෙ" සිනහවෙන්ම කියුවත් ඔහුගේ හඬ තුල සියුම් අපැහැදීමක්ද ගැබ්ව තිබුණි.
"බය වෙන්ඩ එපා. තව එක දෙයයි දැනගන්ඩ තියෙන්නෙ"
"ඒ පාර මොකක්ද"
"අර ඔයාගෙන් සල්ලි ඉල්ලගෙන ගියෙ ඔයාගෙ කවුද"
"ඒ මගේ පොඩි අක්කා. ලොකු අප්පච්චිගෙ පොඩි දුව. සයන්ස් එකේ ෆර්ස්ට් ඉයර් එකේ ඉන්නෙ. එයාව තමයි මං ඔය වෙලාවකට ලෙක්චර් හෝල් එක ළඟට ගෙනත් දාන්නෙ. අර එදා කෑම එක යැව්වෙත් එයාටම තමයි. සමහර දවස්වලට මං ඔයාලගෙ හොස්ටල් එක ළඟට එන්නෙත් එයාගෙන් ගෙදර යතුර ඉල්ලා ගන්ඩ. මොකද එයා හිටපු ගමන් හොස්ටල් යනවා අසයිග්න්මන්ට් එහෙම කරන්න කියලා" පිළිතුරු දුන්නේ මනූජාගේ පැණයකට වුවත් එවෙලෙහි ඔහුගේ දෑස් තිබුණේ මා වෙතය.
"අයියා නැවතිලා ඉන්නෙ එහෙද"
"ඔව්. මං හයේ පංතියෙ ඉදන්ම ඉන්නෙ එහෙ"
"
එතකොට අක්කට කලින් මල්ලි කැම්පස් ආවෙ කොහොමද" පවනි ඇසුවේ නැගිටින අතරතුරය
"ඇයි පවනි අහලා නැද්ද සියළු සයන්ස්කාරයෝ නැසෙන සුළුය. නොපමාව කොමර්ස් කර කැම්පස් යන්න කියලා කතාවක්. අක්කා
කිව්වට එයා මට වඩා වැඩිමල් හරියටම සති හයකට. එයා තුන්පාරක්ම දොස්තර කෙනෙක් වෙන්න ට්රයි කරලා බැරි නිසා සයන්ස් එනකොට මං තර්ඩ් ඉයර්"
"එහෙනං අපි යනවා අයියෙ. අපේ බඩකට පිරෙව්වට පිං හොදේ"
"පිං නං මොනවා කරන්නද"
"එහෙනං අපිටත් කියන්නෙ ඩෙනිමක් හෝදලා දෙන්න කියලද"
"අපෝ එපා. ඔය ගෙවල්වල ගිහින් එනකොට පැණි වළල්ලක් එහෙම ගෙනත් දුන්නාම හොදටෝම ඇති"
"ඒකනං කියන්ඩ වෙන්නෙ භගීට තමයි" කියමින් මනූජා පවනිත් සමගම එතැනින් ඉවතට ගියේ මං නැගිටින්නටත් පෙරය.
"මොකද කියන්නෙ භගී. ගේන්න පුළුවන්ද" ඔහුද මනූජාගේ ස්වරයෙන්ම ඇසුවේ දෑස් කුඩාකර සිනාසෙමිනි.
"ගේන්නං"
"ප්රොමිස්" එදා ඔහු පෑ සුරත මත සුරත තැබූ නිමේෂය මියෙන මොහොතේදීවත් අමතක නොවනු ඇත. අත්ලින් පටන්ගත් හිරිවැටීමකින් මුළු සිරුරම අඩපණ වූ ඒ මොහොතේ දෙනෙතට නැගුනු කඳුළු ඔහුගෙන් සගවාගැනීම දුෂ්කර විය.
"යාළුවෝ බලන් ඉන්නවා. හොද ළමයා වගේ ඔය කඳුළු පිහදාගෙන දැන් යන්න" ඔහු මා අත තදින් මිරිකා අත්හැරියේය.
දේශණ ශාලාවට ගියත් නේවාසිකාගාරයට ගියත් සිත එකතැනක තබා ගැනීම අසීරු වූයේ ඒ සිදුවීමෙන් පසුය. අම්මා අප්පච්චී සේම අයියලා තිදෙනාද වරින් වර මා ඉදිරියෙන් බැඳ දැමූ
වැට කඩොලු සියල්ල බිද හෙලමින් මසිත ප්රේමයෙන් ආතුර වූයේ මටත් නොදැනීමය. ඔහු දකින්නට, කාටත් හොරෙන් ඒ නෙත් කොන් බැල්ම විදින්නට ඔහු සමග වචනයක් දෙකක් හෝ කතාකරන්නට කෙතෙත් සිහින දැක්කද ඉන්පසු එලැඹි දින කිහිපයේම ඊට ඉඩ ලැබුණේ අඩුවෙනි. විටක
ආපනශාලාවේදී මුණ ගැහෙන ඔහු පොදුවේ අප සියළු දෙනා සමගම වචනයක් දෙකක් හුවමාරු කරගෙන නික්ම යන්නේ මසිත තව තවත් ඔහු කෙරෙහිම ඇද බැඳ ගනිමිනි.
සඳු, මේක කියවද්දි මමත් ඒ කැන්ටිමේ ඒ වෙලාවෙ හිටියා වාගෙ දැනුණා. සිදුවීම හිතේ මැවිලා පේන විදිහට ඔයා ලියලා තියෙනවා. ටික වෙලාවක් ගිහින් තමයි මට මතක් වුනේ මං මේ කතන්දරයක් කියවන්නෙ කියලා. හරිම ලස්සනයි. :)
ReplyDeleteඒ ඇගයීමට බොහොම ස්තූතියි! සිත්තමී
Deleteමල්සරාගේ ඉලක්කය හරියයිද?
ReplyDeleteජයවේවා!!!
ඉල්ලක්කය හරියයිද කියලා අපි බලන් ඉමු දුමින්ද.
Deleteඔයා මේ ජයවේවා! කියලා තියෙන්න මල්සරාට වෙන්නැතිනෙ
මේ කතාව නම් නියමයි ඈ.. ඇත්තටම ගොඩක් ආසාවෙන් කියවන්නෙ.. තව දිග කොටසක් දාන්න... :)
ReplyDeleteස්තූතියි! සිතූ.
Deleteමේ කොටස බොහොම කෙටියි කියලා මටත් තේරුණා. ඒත් ඔය මට ඊයෙ වෙනකොට දෙන්න පුළුවන් උපරිමය.
මං මේක ලියන්නෙ පීඑච්ඩී තීසිස් එකේ සයිඩ් ලයින් එකක් විදිහට.ඉතින් සතියෙ දවස් පහේ මේ කතාවට වෙලාව දෙන්න අමාරුයි මට. දැන් වීක් එන්ඩ් එක නිසා ඊළඟ දිග කොටසක් දෙන්නංකො
සඳා බලාගෙන තීසිස් එකෙත් ඕව ලියවෙයි හොඳේ... :) කතාව ඒ තරම්ම රොමැන්ටික්...තීසිස් එක නියමෙට තියේවි....
Deleteරිසර්ච් සහ රෝමෑන්ස් බොහොම එක ලඟින් යන දෙකක්...අත්දුටුයි...:) ගුඩ් ලක් තීසිස් එකට...
පොකුරු,
Deleteඑහෙම බැරිවෙලා හරි ලියවුණොත් හොදයි. එතකොට කවදාහරි කාටහරි ඒ ටිකවත් කියවලා තේරුං ගන්න පුළුවන්නෙ.
මං ඉතිං මේ කාලෙ කාගෙන ලියන්න ඕනිම නිසා ඕක ලිව්වට වෙන කවුරුවත් තියා අඩුම ගානෙ මමමවත් ඕක දිහා ආයෙ ඇහැක් ඇරලා බලන එකක් නෑනෙ. ඒකයි මේ සයිඩ් ලයින් එකක් තියාගත්තෙ
රිසර්ච් ඇන්ඩ් රෝමෑන්ස් ළඟින් යන දෙකක් නේන්නං. ඔයා අත්දුටුව දේ මං ප්‍රත්‍යක්ෂ කරන්න බලන්නං.
ස්තූතියි! සුබ පැතුමට
ආදර හැඟුම්.. ආදර හැඟුම්...
ReplyDeleteකිතිකවයි සිත කිතිකවයි ඒ හැඟුම්..
ජයවේවා..!!
මොකද්ද මේ ඒ පාර ගස් ලබ්බට හැදිලා තියෙන ලෙඩේ
Deleteආ ඒ කියන්නේ ඉන්දිරා නංගි නෙවෙයි.... කොහොමහිරි නෑයෙක්නේ...
ReplyDeleteමේක කියවන් යනකොට කැම්පස් කාලේ මතක් වුනා...
නිර්මාණි,
Deleteකියවනකොට කැම්පස් කාලෙ මතක් වුණා කියන්නෙ ඔයා දැන් කැම්පස් අවුට් වෙලා. මං හිතා හිටියෙ තාම ඉගෙන ගන්න පුංචි දැරිවියෙක් කියලනෙ.
එහෙනම් එක කඩුල්ලක් දෙන්නා පැන්නා.
ReplyDeleteමල්ලි එහෙනං ඒ දෙන්නා පනින කඩුළු ටික ගනං තියාගන්නකො
Deleteඅද තමයි කියවනං වෙලාවක් හම්බ වුනේ. ලස්සන කතාවක්.
ReplyDeleteස්තූතියි! අජිත් වැඩ රාජකාරි අස්සෙන් වෙලාවක් හොයාගෙන කියෙව්වට
Deleteඔන්න අදයි කියෙව්වෙ.ටිකක් විතර දිග තිබුණට කියවගෙන ගියා තේරුණේවත් නෑ. හරිම ආදරණීයයි.
ReplyDeleteබොහොම ස්තූතියි! හැලපෙ ඒ වචන ටිකට. ඒක මගෙ හිතට ලොකු ශක්තියක්
Delete