Saturday, July 23, 2016

උරුමය - නවවෙනි කොටස


"ඇවිත් මෙතනින් වාඩිවෙන්න" යුගල පුටුවක අසුන්ගෙන උන් ලොකු අයියා පුටුවේ පැත්තකට වෙමින් ඔහු අසල වූ ඉඩ මට අතින් පෙන්නුවේය. වචනයක්වත් නොකියා මා ඔහු අසලින් අසුන්ගත් පසු හැමදාමත් මෙන් ඔහු මුලින්ම කළේ බරැති සුසුමක් පිටකිරීමය.

"නොකා නොබී අඬ අඬා ඉන්න තරං ප්රශ්ණයක් ඔයාට තියෙනවද චූටි මැණික" එක්වරම මා දෙසට හැරුන ඔහුගේ දෑසේ වූ බැල්ම මෙන්ම හඬෙහිද දැඩි බවක් තිබුණත් දෙන්නට පිළිතුරක් මා ළඟ නොතිබුණි.

"හිටපු ගමන් ඇස්වල කඳුළු පුරෝගෙන කල්පනා කරන්නෙ මොනාද කියලා මට කියන්න බැරිද" මම එලෙසම ලොකු අයියාගේ උර මතට හිස බර කළෙමි. එතෙක් ඔහු ඉදිරියේ ආයාසයෙන් යටපත් කරගෙන සිටි කඳුළු නොනවත්වාම ගලන්නට පටන් ගත්තේ ඔහු උරහිස වටා අත යවා මා ළංකරගන්නවාත් සමගය.

"මේ ගෙදර ඕනි දෙයක් කියන්න මට ඉන්නෙ ඔයා විතරයි. ඔයාට ඉන්නෙ මං විතරයි. මං නොකා නොබී අඬ අඬා හිටිය කාළෙ ඔයා අම්මා කෙනෙක් වගේ මගේ හිත හදලා වැටෙන්න හැදුව මාව නැගිට්ටවලා මට ජීවත් වෙන්න ශක්තිය දුන්නා. මගේ කෙල්ලට අම්මා කෙනෙක් වෙලා කෙල්ලගෙ ලෝකෙ සතුටින් පිරෙව්වා. එහෙම කරපු ඔයා මං ළඟ ඉදන් ඔහොම අඬනකොට මං බලන් ඉන්නෙ කොහොමද  චූටි මැණික"

"අපි වීක් එන්ඩ් එකක එකම එකපාරක් ගෙදර ගිහින් එන්න යමු ලොකු අයියා. අප්පච්චි ගැහුවත් කමක් නෑ. මට එකපාරක් අම්මව බලන්න ඕනි"

"ඔයා ඇත්තටම අඬන්නෙ අම්මව බලන්න ඕනි වෙලාද"

"ඔව්"

"ලොකුවෙලා දවසක මගේ කෙල්ලත් ඕකම කියලා ඇඬුවොත් මං මොනා කරන්නද චූටි මැණික" කරවටා වූ අත මුදාගත් ලොකු අයියා නැගිට ගොස් දියණිය නිදාසිටින කාමරයට එබුනේ මගේ දෑසේ වූ කඳුළු අලුත් කරමිනි.  වසරකටත් වඩා කාලයකින් නුදුටු අම්මා දකින්නට ආසාවක් සිත යට බුබුළු දමමින් තිබුණද මේ මොහොතේ මා කිව්වේ බොරුවකි. මටමවත් හිතාගත නොහැකි ලෙස අවසන් වූ සමීරගේත් මගේත් අප්රකාශිත ප්රේමය ගැන තවකෙකුට කියන්නට තරම් දෙයක් නැති කමට මිස අම්මා බලන්නට යන්නට අවැසි බව මා ලොකු අයියාට කිසිදා නොකියන්නටද ඉඩ තිබුණි.

"ඔයා අම්මව දැකලා නැත්තෙ අවුරුද්දකින්.මං මගේ අම්මව කවදාවත්ම දැකලා නෑනෙ චූටි මැණික" ලොකු අයියා නැවතත් මා අසලින් අසුන්ගත්තේ තවත් වරක් මා හඬවමිනි.

"ඇඬුවම නොලැබුණ දේවල් ලැබෙනවනම් මං එක තප්පරයක්වත් අපතෙ යවන්නැතුවම අඬනවා. නොලැබීම කියන එක මට ඇවිත් තියෙන්නෙ උපතින්ම. අම්මගෙන් කිරි උගුරක් බොන්න තරන්වත් මං පිං කරලා නෑ. අම්මා නැති වුණත් මාව ආදරෙන් බලාගන්න පුංචම්මා හිටියා. අප්පච්චි මට ආදරේ කරාද නැද්ද කියන්න මං අදටත් දන්නෑ. ඒත් මාව ගෙදරින් එළියට දානකල්ම මං අප්පච්චිට ගොඩක් ආදරේ කරා. ඔයයි හිච්චියි ලොකු මල්ලියි වුණත් මට ආදරේ කරාද කියලා මං කාලෙ දන්නෑ. ඒත් මං පුංචම්මට වගේම ඔයාලා තුන්දෙනාටත් ආදරේ කරා. අන්තිමේදි මීනුගෙ ආදරේ වෙනුවෙන් මට ඔයාලා හැමෝම අතාරින්න වුණා. ඒක ඔයාලට කොහොම දැනුනද කියන්න මං අදටත් දන්නෑ. ඒත් මං ඒකෙන් හරියට විදෙව්වා චූටි මැණික. මං ආදරේ කරපු තරමටත් වඩා කිසිම කොන්දේසියක් නැතුව මට ආදරේ කරපු කෙනෙක් හිටියනං මගේ මීනු විතරයි. ඒත්"

"ඇයි දැන් ඔය කතාවක් මතක් කරන්නෙ" ඔහු සිය බිරිඳගේ අකල් වියොවින් තවමත් ලතවන බව දැන සිටියද මේ මොහොතේ ගැන අසා ඔහු සැනසවිය හැකි ශක්තිමත් සිත මා ළඟ නොතිබුණි.

"මීනු නැතිවෙච්ච වෙලාවෙ ඉදලා මේ වෙනකල්ම ඔයා මගේ හිත හැදුවා චූටි මැණික. මගේ විතරක් නෙවෙයි දෝණිගෙත්. එයාට දැන් අම්මා ගැන මතකයක්වත් නැති තරං. ඒත් ඔයා හිත ඇතුලෙ කොච්චර ලොකු දුකක් තියාගෙනද අපි ළඟ ඉදලා තියෙන්නෙ"

"කවුද අයියට එහෙම කිව්වෙ"

"කවුරුත් කියන්න ඕනි නෑ. අද ඔයා කියපු කරපු දේවල් වලින් මට ඒක තේරුණා"

"මගේ හිතේ දුකක් තිබුණෙ නෑ කියලා මං අයියට බොරු කියන්නෑ. ඒත් වෙච්ච සමහර දේවල් එක්ක දෝණියි ඔයයි හිටිය විදිහත් එක්ක මට හැම දුකක්ම ඉක්මණට අමතක කරලා දාන්න පුළුවන් වුණා"

"එහෙනං දැන්වත් මගෙ හොද නංගි වගේ හිත රිදුනෙ ඇයි කියලා ලොකු අයියට කියනවද"

"මට කියන්න තේරෙන්නෑ ලොකු අයියා"

"එහෙනං මං අහන ඒවට උත්තර දෙනවද" ඊට විරුද්ධ විය නොහැකි නිසාම මම හිස දෙපසට සැලුවෙමි

"ඔයාට කැම්පස් එකේදි එෆෙයාර් එකක් තිබ්බද"

"ඒකට එෆෙයාර් එකක් කියන්න බෑ. ඒත් මං කෙනෙකුට ආදරේ කරා"

"දැන් කෝ එයා. කොහෙද ඉන්නෙ"

"දන්නෑ" මම හැකිතාක් හැඟීම් පාලනය කරගෙන පිළිතුර මුවින්  පිට කෙළෙමි.

"දන්නෑ කියන්නෙ"

"මං ෆයිනල් ඉයර් ඉන්නකොට එයා මැලේසියා ගියා ට්රේනිං එකකට"

"එහෙනං දන්නෑ කිව්වෙ"

"දැන් ඉන්නෙ කොහෙද කියලා දන්නෑ"

" කියන්නෙ එයා තරහා වෙලාද ගියෙ. එහෙ ගියාට පස්සෙ කතා කරේ නැද්ද" හිතට එකඟව නැතැයි කියන්නට දිව නොනැමෙන නිසා මම නිහඬ වුණෙමි.

"එහෙම කැම්පස් ගිය ගමන් කොල්ලෙක් එක්ක යාළු වෙන්ඩ ඔයාට බය හිතුන්නැද්ද චූටි මැණික" එවර ලොකු අයියාට තිබුණේ මා කිසිවිටක ඔහුගෙන් බලාපොරොත්තු නොවූ ප්රශ්ණයකි.

"එහෙම අයියා හිතන විදිහෙ සම්බන්ධයක් අපි අතරෙ තිබ්බෙ නෑ. මං එයාට කැමැත් තෙන් හිටියා. එයත් මට කැමතියි කියලා මට දැනිලා තිබුණා"

"ඉතිං එහෙම දෙන්නට දෙන්නා කැමතියි කියලා දැනං හිටියනං මොකටද යාළු වුණේ නැත්තෙ. අප්පච්චිලා අකමැති වෙයි කියලා ඔයාට බය හිතුනද"

"මං ඇත්ත කියන්නං අයියා මට බණින්නෑ කියලා පොරොන්දු වෙනවනං"

"අයියා ඉස්සෙල්ලා ඔයාට සැර කරේ තරහට නෙවෙයි චූටි මැණික. දුකට. ඔයාට ඔයාගෙ හිතේ තියෙන ඕනි දෙයක් ලොකු අයියත් එක්ක කියන්න පුළුවන් වෙන්න ඕනි" කියමින් ඔහු මහිස පිරිමැද්දේ විශ්වාසය තහවුරු කරවන්නට මෙනි.

"අයියා විශ්වාස කරයිද මන්දන්නෑ. ඒත් මට එයාව දැක්ක ගමන් මොකක්ද වුණා. මං දන්නෑ මං එයාට ආදරේ කරන්න පටන් ගත්තෙ කොයි වෙලේද කියලා. ඒත් ඒක වුණේ එයාව මුණ ගැහුණ පළවෙනිම දවසෙ කියලා මට හිතෙනවා. මං එයාට කැමතියි කියලා එයත් දැනන් හිටියා.  එයත් මට කැමැත්තෙන් හිටියා. ඒක මට දැනුනා. ඒත් එයා බව කියලා තියෙන්න දෙතුන් පාරයි"

"මං අහන්නෙ ඇයි ඔය දෙන්නට දෙන්නා ඔච්චර කැමැත්තෙන් හිටියනං යාළු වුණේ නැත්තෙ කියලා"

"ඒක මං හරියටම කියන්ඩ දන්නෑ අයියෙ. එයා එකපාරක් හරි ගැන කෙලින් කතා කරානං මං දෙපාරක් නොහිතා කැමති වෙයි. ඒත් එයා ගැන මාත් එක්ක කෙලින් කතා කරලා නෑ"

"ඔයා හිතන්නෙ මොකක් නිසා එයා එහෙම කරා කියලද"

"මං දන්නෑ ලොකු අයියෙ. ඉස්සරම මටත් ගැන හිතාගන්ඩ බැරි වුණා. ඒත් දැන් වෙච්ච දේවල් එකින් එක කල්පනා වෙනකොට මට හිතෙනවා එයා එහෙම නොකළෙ මාව මුණ ගැහෙනකොටත් එයාට වෙන එෆෙයාර් එකක් තිබුණ නිසාද කියලා"

"ඇයි ඔයාට එහෙම හිතුනෙ"

" ඇරෙන්න මට වෙන හේතුවක් හිතාගන්ඩ බෑ"

"ඔයා මෙහෙ ඇවිත් එයාට එක වතාවක් හරි කෝල් කරලා තියෙනවද"

"නෑ. මං එදා කැම්පස් එකෙන් එනකොටත් ආවෙ සේරම දේවල් අමතක කරලා නොලැබෙන දෙයක් පස්සෙ දුවන එක තේරුමක් නෑ කියලා තේරුම් අරගෙන. ඊට පස්සෙ වෙච්ච දේවල් එක්ක මට ඒකට හිත හදාගන්න ලේසි වුණා"

"මට ඔයා ගැන පුදුමයි චූටි මැණික.  කොයි වෙලේත් පුංචම්මගෙ ඔසරි පොට අස්සෙ රිංගගෙන, කූඹියෙක් කෑවත් හූ කිය කියා අඬන සීනි බෝලයක් වගේ හිටිය චූටි කෙල්ලගෙ හිත මේ තරං හයිය ඇති කියලා මට කවදාවත් හිතිලා තිබුණ්නෑ. මට ඇත්තටම අද වෙනකල් දැනිලා තිබ්බෙ නෑ ඔයා ඔහොම ලොකු දුකක් හිතේ හිරකරගෙන ඉන්නවා කියලා"

"වෙලාවකට මටත් මං ගැනම පුදුමයි ලොකු අයියා. මං හිතන්නෙ මං ගොඩක් දේවල් තේරුං ගත්තා ඔයාට වෙච්ච දේවලුත් එක්ක"

"එහෙනං දැන් ඔය අඬන එක නතර කරලා පහුගිය කාලෙ හිටියා වගේම තව ටික දවසක් ඉවසලා ඉන්න චූටි මැණික. මං ඔයාව හෙට අනිද්දටම ගෙදර එක්ක යනවා කියලා පොරොන්දු වෙන්නං. ඔයාටත් වඩා මට පුංචම්මව දකින්න ආසයි. පුංචම්මා මං වෙනුවෙන් කළේ කොයි තරං ලොකු කැපකිරීමක්ද කියලා මට තේරෙන්නෙත් දැන්. අප්පච්චි මට කොහොම සැලකුවත් පුංචම්මා කවදාවත් මට වෙනස්කමක් කරලා නෑ. එයා ඔයා තුන්දෙනාටත් වඩා මට ආදරේ කරා"

"මටත් එහෙම හිතුනා හිච්චි අයියා රට ගිය දවසෙ. අම්මා එදත් හොදටම ඇඬුවා. වුණාට ඔයා ගෙදරින් ගිය දවසෙ අම්මා අඬලා අඬලා ලෙඩත් වුණා. අම්මා ඔයා ගැන කිය කියා කොච්චර කාලයක් ඇඬුවද.සමහරවිට තාමත්"

"මට රට ඉන්නකොටත් වැඩියෙම මතක් වුණේ පුංචම්මව. ඒත් අප්පච්චි මට බැණපු විදිහටයි මීනුට කියපු දේවල් වලටයි මට ආපහු ගෙදර එන්න හිත හදාගන්න බැරි වුණා"

"එහෙම ආවනං අප්පච්චි සමහරවිට සමාව දෙන්නත් තිබ්බා"

"මොන පිස්සුද?. එහෙනං මීනු නැතිවුණා කියපු වෙලාවෙ එන්ඩ තිබ්බනෙ. දැන් වුණත් ඔය මාත් එක්ක කතා කරන්නෙ ඔයා මෙහෙ ඉන්න නිසා"

"අනේ මන්දා අපෙ අප්පච්චිගෙ හිත ගලක්ද කොහෙද"

"අප්පච්චිට එහෙම කිව්වට අපේ හිතුත් වගේම තමයි චූටි මැණික. පුංචම්මව බලන්න කොච්චර ආස හිතුනත් මං දැන් අවුරුදු දහය එකොලහකින් ගෙදර ගිහින් නැත්තෙයි ඔයා අවුරුද්දකින් ගියෙ නැත්තෙයි ගල් හිතම අපිටත් තියෙන නිසා නෙවෙයිද"

ප්රථම වරට ලොකු අයියා මහිතේ මා මෙතෙක් නුදුටු පැත්තක් විවර කරවීය. ඔහු කියන්නේ සැබෑවකි. නැගණියක නැන්දනියක ලෙස එදා මා ගත්තේ මානුෂික තීරණයක් වුවද එය එක් පැත්තකින් දරුණුය. පුරුද්දක් ලෙස දෙසතියකට වරක් නිවසට ගිය මා එක්වරම එය නතර කළ පසු අප්පච්චීටත් වඩා අම්මා කෙතරම් සිත් පීඩාවක් විදින්නට ඇත්ද?. පවුලේ නම්බුව මුල්තැන තබා සියළු තීන්දු තීරණ ගන්නා අප්පච්චී සරසවියට ගිය දියණිය නැවත නිවසට නොපැමිණෙන විට සමාජයට මුහුණ දෙන්නේ කෙසේදැයි සිතන්නට එදා මට අමතක විය. සිව් වසරක්ම දුක සැප බෙදාගෙන උන් මනූජාට පවනිට මෙන්ම ජනක සහ අංජනට වුවද අවසන් විභාගය පෙනි පෙනී සිදු වූ මගේ හදිසි අතුරුදහන් වීම කෙසේ බලපාන්නට ඇත්දැයි මා කිසිවිටක සිතා නැත.  දුරකතනයෙන් ඔවුන්ව අමතා මා නැවත නොපැමිණෙන බව පමණක් දැනුම් දී ක්රියාවිරහිත කළ ජංගම දුරකතනය සති ගණනාවක් යනතුරුම මා පණ පොවාගත්තේවත් නැත. අවසානයේ මා එය නැවත භාවිතයට ගත්තේ නව සිම්පතක්ද සමගිනි.

"දැන් කල්පනා කරන්නැතුව කාමරේ ගිහින් හොදට නිදාගන්න. හෙට උදේට එහෙම ඔන්න බොරුවට ඔළුව රිදෙනවා කියන්ඩ ලෑස්ති වෙන්ඩ එපා"

"ඇයි මං බොරු කියන්නෙ"

"අකවුන්ටන්ට් බයේ"

"මං මොකටද මනුස්සයාට බය වෙන්නෙ. ඔයාම කිව්වනෙ දැන් එයාට තරහා යන්නෙත් නෑ මං නංගි කියලත් දන්නවා කියලා"

"ඒක නිසා නෙවෙයි ඔයා ඔය චණ්ඩියා වගේ ඉන්න හදන්නෙ"

"එහෙනං"

" එන්ගේජ් වෙලා ඉන්න නිසා"

" නැතත් මං ඔය කාටවත් බය වෙන්නෑ ලොකු අයියා. මගේ හිතට එහෙම ලේසියෙන් කෙනෙකුට රිංගන්න බෑ"

" රිංගුවොත් එළියට යන්ඩත් බෑ...එහෙමද"

මා කාමරයට ආවේ ලොකු අයියා හඬ නගා සිනාසෙද්දීය. විටක ඕනෑවටත් වඩා සංවේදී වන ඔහුට බොහෝ දේ ඉක්මණින් අමතක කොට සැහැල්ලුවෙන් සිනාසීමේ අපූරු හැකියාවක් තිබේ.

ඇඟ සෝදා නිදන ඇඳුමකින් සැරසී ඇදට ගියත් නින්ද මා අසලට එන්නට අදිමදි කළ නිසාම මට අතීතයෙන් හිත මුදවාගැනීම අපහසු විය.  ජනක, අංජන, නලින්ද, මනූජා සහ පවනි කලක් මට මගේ සහෝදර සහෝදරියන් විය. අතරින් ජනක මා කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වූ බව කාටත් රහසක් නොවීය. සමීර හා ජනක අතර කිට්ටු මිත්රත්වයක් තිබුණද ජනක මා කෙරෙහි දැක්වූ සැලකිල්ල සමීර මුණ ගැසීමට පෙර සිටම ලෙස තිබුණ බව මට මතකය.

"උඹ මොකද හිටපු ගමන් භාග්යා දිහා බලන් භාවනා කරන්නෙ" දිනක් ආපනශාලාවේදී පැණය නැගුනේ නලින්දගෙනි.

"භාග්යා මට මගේ නංගි වගේ" ජනක බොහෝ තැන්පත් හඬකින් තිර පිළිතුරක් දුන්නද  නලින්දගේ මුව කොණකට නැගි සිනහව  ඔහු එය පිළිනොගන්නා බව කියාපෑවේය.ඇතැම්විට මා දෙස බලාසිටින ජනකගේ නෙතට කඳුළු උනනුද මා දැක තිබුණත් මට ගැන හාරා අවුස්සන්නට නොසිතුනි.

අවසන් වසරේ පළමු සමාසික පරීක්ෂණයට පෙර ප්රශ්ණ පත්තරයක් සාකච්ජා කරන්නට සෙනසුරාදා දහවලක ආපනශාලාවට ගොස් ජනක සහ අංජන එනතුරු මග බලමින් සිටියදී සමීර ආපනශාලාවට ඇතුළු වූයේ මගේ හිතේ විටින් විට පිපී පරවෙන බලාපොරොත්තුවක කැකුළක් පූද්දවමිනි.

"මොකෝ අද මේ ගෑණු ළමයි තුන්දෙනා තනියම" අසාගෙන මා ළඟම පුටුවෙන් අසුන්ගත් ඔහු ඇස් කරකවා වටපිට බැලුවේ ජනක සහ අංජන දැකගන්නටය. වරක් මනූජා සමග ඇතිවූ කතාබහෙන් පසු ඔහු ආපනශාලාවට පැමිණියේ ජනකගේ මොකක් හෝ පණිවිඩයකට පමණි.

"තුන්දෙනෙක්ට මොන තනියක්ද"

"ඒකත් හැබෑව. මං බැලුවෙ කෝ ඔයාලගෙ බොඩි ගාඩ්ලා දෙන්නා කියලා"

"ඒගොල්ලන්ගෙ ඔරලෝසු වල කටු කැරකෙන්නෙ හිමීටනෙ අයියෙ. අපිට එකට එන්නං කිව්ව මිනිස්සු තාම නෑ. දැන් දෙකටත් ළඟයි.

"ඉතිං කෝල් කරේ නැද්ද"

"කෝල් කරාට ආන්සර් කරන්න එපැයි. මුං දෙන්නා තාම නිදි ඇති. කීයට හරි ඇහැරිලා එන්නැතෑ" මගේ ජංගම දුරකතනය නාදවන්නට පටන් ගත්තේ ඒත් සමගය. දුරකතන මුහුණතේ සටහන්ව තිබූ අංජනගේ නම දකිද්දී මට සිනහ නැගුනි.

"ඇයි කවුද" මනූජා මගේ අත වූ දුරකතනයට එබෙමින් ඇසීය.

"ඔන්න පේනවද අයියෙ බොඩි ගාඩ්ලගෙ පිරිමිකම. මං දැන් දහ දොළොස් සැරයක් ගත්තට ආන්සර් කරෙ නෑ. ඒකල්ලා දැන් භගීගෙ ෆෝන් එකට කතා කරනවා. ඇයි ඉතින් දන්නවනෙ මෙයා කීයටවත් කෑ ගහන්නෑ කියලා" කියමින් මගේ දුරකතනය උදුරාගෙන ඇමතුමට සම්බන්ද වූයේ "ඇයි තාම එක වුණේ නැද්ද" අසාගෙනය. අංජන කියන කිසිවක් අපට නෑසුනද යටි තොල හපාගෙන අඳුරු කරගත් මුහුණින් ඔහුට සවන් දෙන මනූජාගේ ඉරියව් තුල සටහන්ව තිබුණේ අශුභ ආරංචියක පෙරනිමිතිය.

"ඇයි මොකක්ද වෙලා තියෙන්නෙ" සමීර නොඉවසිල්ලෙන් මෙන් ඇසුවත් මනූජා පිළිතුරු දෙන්නට කල් ගත්තාය.

"ඇයි මනූ"

"ජනකගෙ තාත්තා නැති වෙලා"

"කවද්ද අදද"

"ඔව් අයියෙ. දැන් අද උදේලු"

"තාත්තා ලෙඩ වෙලානෙ හිටියෙ. මං බලන්න එනවා කියලත් පොරොන්දු වෙලා හිටියෙ. ෂිහ්.. මේ වැඩත් එක්ක ඔක්කොම අමතක වෙනවනෙ" කියා කොණ්ඩය ඇද ගනිමින් උන් තැනින් නැගිට ගත් සමීර අපෙන් තරමක් ඈතට වී දුරකතන ඇමතුමක් ගත්තේය.

"අපි දැන් මොකද කරන්නෙ මනූ" කියමින් මා ඇගේ අත අල්ලා ගනිද්දී සමීර හැරී බැලුවේය.

"දැන් ඉතින් මොනා කරන්නද? කට්ටියත් එකතු කරගෙන යන්න තමයි තියෙන්නෙ"

"අනේ මට ජනකලාගෙ ගෙදරනං යන්නම ඕනි. ඒත් අප්පච්චි යන්න දෙන එකක් නෑ" මම මනූජාගේ අත අල්ලාගෙනම මේසය මත හිස තබාගත්තේ ආත්මානුකම්පාවෙනි. අම්මා තාත්තා නොව අත්තම්මලා සීයලා පවා මියගිය විට කාලය හෝ දුර ගැන නොසිතා එයට සහභාගි වීම සරසවි සිසුන්ගේ පුරුද්දක් වුවත් මට කිසිදිනක ඊට ඉඩක් නොලැබුණි.

"ඇයි මේ අඬනවද" අසාගෙනම අප අසලට සමීර යලිත් මා ළඟින්ම අසුන් ගත්තේය.

"ඔයාලා අංජනට කතා කරලා බැලුවද"

"මට පණිවිඩේ දුන්නෙ අංජන තමයි අයියෙ. කොල්ලො ටික එහෙ ලෑස්ති වෙනවා කියලා අපිටත් ලෑස්ති වෙන්ඩ කිව්වා. එච්චර දුරකුත් නෑනෙ ඇහැළියගොඩනෙ"

"ඇහැළියගොඩ කිව්වට ටිකක් ඇතුලට යන්න ඕනි. දැන්ම ගියොත් රෑ වෙන්න කලින් යාගන්න පුළුවන්. මොකේද යන්නෙ"

"පාරෙ බස් එකේ තමයි. සමහරවිට දැන් අනිත් උන් ලෑස්ති වෙලත් ඇති. අපිත් ඉක්මණට හොස්ටල් එකට යං භගී"

"අනේ මට යන්න දෙන එකක් නෑ මනූ"

"නෑ නෑ කියලා මෙතන ඉදන් පේන බලන්නැතුව අහලා බලන්නකො" සමීරගේ වදනින් සිතට දිරි ගෙන නිවසට ඇමතුමක් ගත් මා අම්මාගේ හඬ ඇසෙන තුරු සිටියේ නොඉවසිල්ලෙනි. ඇගේ හඬ ඇසෙනවාත් සමගම මට ඇඬුනේ සියළු දෙනාම මළගෙදර යද්දී ජනකගෙ හොදම යෙහෙළියක් වූ මට ඊට සහභාගි වීමට නොහැකි වන බවට තිබුණ අනුමානය නිසා ඇති වූ ආත්මානුකම්පාවටය.

"අනේ ඇයි පුතේ" අම්මගේ හඬ මටත් වඩා අප්රාණික විය. මා කතාකරගත නොහැකිව සිටියදී මාතින් දුරකතන උදුරාගත් මනූජා නැවත එය මා අතට දුන්නේ "අන්න අම්මා අවසරේ දුන්නා. මෙයා මෙතන හූ තියන්න ගත්තු විදිහට තව පොඩ්ඩෙන් අම්මවත් හොස්පිටල් ඇඩ්මිටි කරන්න වෙනවා" කියා මට රවමිනි.

"ඇත්තටම යන්න කිව්වද"

"ඇත්තට කිව්වද බොරුවට කිව්වද කියන්ඩ මං දන්නෑ.ඇහැළියගොඩ මළගෙදරක් කිව්වම අම්මම මගෙන් ජනකගෙ විස්තර අහලා මට කිව්වා අප්පච්චි එහෙ ගියාටනං මොකුත් කියන එකක් නෑ කියලා අනේ පුතේ පරිස්සමට එක්ක ගිහින් එක්ක එන්න කියලා"

"අම්මයි අප්පච්චියි දෙන්නම ජනකව දන්නවා. එදා අපිව බාරදෙන්න ආව දවසෙ අම්මා ජනකගෙ අම්මත් එක්ක ගොඩක් වෙලා කතා කර ඉදලා යනකොට ජනකට කියලත් ගියා මාව හොදට බලාගන්ඩ කියලා"

" එතකොට මේ ඩියුටියක්ද කරලා තියෙන්නෙ"

" මෙතන කියවා කියවා ඉන්නැතුව අපි යමු ලෑස්ති වෙන්න" කියමින් මේසය මත වූ පොත් පත් ටික එකතු කරගත් පවනි නැඟිට්ටාය.

"අයියත් එනවද අපිත් එක්ක යන්න" මනූජා ඇසුවේ නළල පිරිමදිමින් මොකද්දෝ ලොකු කල්පනාවක සිටි සමීරගේ උරහිසට අත වූ පොතකින් තට්ටු කරමිනි.

"චුට්ටක් හවස් වෙලා මාත් එක්කම යන්න ඔයාලට ඉන්න බැරි වෙයිද මනූජා"

"කීයට විතරද"

"දැන් දෙකයිනෙ. තුන හතර වගේ වෙයි. මේ වටේ පිටේ වැඩ කරන අපේ එවුන් පස් හය දෙනෙක් ඉන්නවා. මං උන් ටිකටත් අඩගහගෙන ගෙදර ගිහින් ලොකු අප්පච්චිගෙන් වෑන් එකත් ඉල්ලගෙන එන්නං. ඔය තුන්දෙනා අනිත් අයට යන්ඩ ඇරලා ලෑස්ති වෙලා ඉන්ඩ. එයාලා ගිහින් පැයක් හමාරක් යනකොට අපිට යන්ඩ පුළුවන් වෙයි"කියූ ඔහු මාරුවෙන් මාරුවට අපි තිදෙනාගේම මුහුණු දෙස බැලුවේය.

"අයියලාගෙ බැච් එකේ ගර්ල්ස්ලත් එනවද"

"ඒක මට දැන් හරියටම කියන්ඩ බෑ. කවුරුත් ආවත් නැතත් මං ඔය තුන්දෙනාගෙ පරිස්සම ගැන වග කියනවා"

"එහෙනං එහෙම කරමු නේද පවනි" කියමින් මනූජා යලිත් අසුන් ගත්තාය.

"මං ජනකට කෝල් කරා. තාම තාත්තගෙ බොඩි එක ගෙදර ගෙනත් නෑ"

"ෆියුනරල් එක කවදටද දන්නෑ. සඳුදා වෙන්නැති"

"ෆියුනරල් එකක් නෑ. හෙට උදේ නවයට හාමුදුරුවො වඩම්මවලා වැඩ ටික කරලා බොඩි එක කරාපිටිය මෙඩිකල් ෆැකල්ටියට බාර දෙනවලු. තාත්තා ඉස්සර එහෙම කියලා තිබ්බලු"

"ආනේ"

"අනේ පනේ නෙවෙයි. තුන්දෙනත් එක්ක දැන් ගිහින් නාලා කාලා ලෑස්ති වෙලා ඉන්න. අපි අද රෑ එහෙ ඉදලා හෙට කරාපිටියටත් ගිහිල්ලා වැඩ ඔක්කොම ඉවර වුණාට පස්සෙ එමු"

නේවාසිකාගාරයට එනවිටත් බොහෝ දෙනෙකු සිටියේ මළගෙදර යාමට සූදානමිනි. ජනකගේ හොදම යෙහෙළියන් වූ අප තිදෙනාගේ ගමනට සූදානමක් නැති බව ඔවුන්ට ප්රහේළිකාවක් වුවත් මනූජා ඔවුන්ට කිව්වෙ "අපි තව ටිකකින් එන්නං" යන්න පමණි.

6 comments:

  1. ම්ම්ම්... ඉතින් ඊට පස්සේ මොකෝ වෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. තව මොනා වෙන්නද නිර්මාණි

      Delete
    2. I have a guess... sameera the accountant :)

      Delete
  2. //ප්‍රථම වරට ලොකු අයියා මහිතේ මා මෙතෙක් නුදුටු පැත්තක් විවර කරවීය. ඔහු කියන්නේ සැබෑවකි. නැගණියක නැන්දනියක ලෙස එදා මා ගත්තේ මානුෂික තීරණයක් වුවද එය එක් පැත්තකින් දරුණුය. පුරුද්දක් ලෙස දෙසතියකට වරක් නිවසට ගිය මා එක්වරම එය නතර කළ පසු අප්පච්චීටත් වඩා අම්මා කෙතරම් සිත් පීඩාවක් විදින්නට ඇත්ද?. පවුලේ නම්බුව මුල්තැන තබා සියළු තීන්දු තීරණ ගන්නා අප්පච්චී සරසවියට ගිය දියණිය නැවත නිවසට නොපැමිණෙන විට සමාජයට මුහුණ දෙන්නේ කෙසේදැයි සිතන්නට එදා මට අමතක විය. සිව් වසරක්ම දුක සැප බෙදාගෙන උන් මනූජාට පවනිට මෙන්ම ජනක සහ අංජනට වුවද අවසන් විභාගය පෙනි පෙනී සිදු වූ මගේ හදිසි අතුරුදහන් වීම කෙසේ බලපාන්නට ඇත්දැයි මා කිසිවිටක සිතා නැත. දුරකතනයෙන් ඔවුන්ව අමතා මා නැවත නොපැමිණෙන බව පමණක් දැනුම් දී ක්‍රියාවිරහිත කළ ජංගම දුරකතනය සති ගණනාවක් යනතුරුම මා පණ පොවාගත්තේවත් නැත. අවසානයේ මා එය නැවත භාවිතයට ගත්තේ නව සිම්පතක්ද සමගිනි.//

    හිතේ තිබුනු අපහැදීම ටිකක් විතර තුනී උනා මේ ඡේදෙ නිසා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හිතේ තිබුණ අපහැදීම ටිකක් විතර තුනී වුණා කියන්නෙ තව ටිකක් තියෙනවා කියලනෙ.කොහොම වුණත් හොද වෙලාවට මේ ජේදෙ ලිව්වෙ. නැත්නං ගස් ලබ්බ මේක කියවන එකත් නතර කරනවා

      මං හිතුවෙ භාග්‍යාගෙ ඔළුවෙ කැක්කුම එක්ක විතරයි ගස් ලබ්බට තරහ තියෙන්නෙ කියලනෙ

      Delete