Sunday, July 24, 2016

උරුමය - දහවන කොටස


පස්වරු තුන හතර වනවිට යා හැකි බව පැවසුවද සමීර අප රැගෙන යාමට පැමිණියේ පස්වරු පහට ආසන්න වෙලාවකය. රිය තුල සිටියේ හත් අට දෙනෙකු නිසා පිටුපස ආසන පේළි හතරින් මුල් අසුන තිබුණේ හිස්වය. ඊට පිටුපස අසුනේ සමීරගේ මිතුරෙකු වූ රම්බො අයියාත් පහුගිය දිනෙක ඔහු හා විවාහ ගිවිසගත් වරුණි අක්කාත් සිටි අතර පිටුපසම ආසන දෙකෙ සමීරගේ තවත් මිතුරන් කිහිප දෙනෙක් සිටියහ. ඔහුගේ බොහෝ කුළුපඟ මිතුරෙකු වූ දඩෝරි අයියා සිටියේ රියදුරු අසුනට යාබද අසුනේය. අප අසුන්ගන්නා තෙක් පිටුපස බලාසිටි සමීර රිය ඉදිරියට ගත්තේ කණ්නාඩිය හරවා ඔහුට පිටුපසින් සිටි මා දෙස බලා සිනාසෙමිනි.

"මචං ඕකනං හොද සෙල්ලමක් නෙවෙයි" ඔහු මා දෙස බලනවා දුටු රම්බො අයියා කෑ ගසන්නට පටන් ගත්තේය.

"මං උඹට කියන්ඩ ඕනි ඒවා උඹ මට කියන්නෙ" කියා සිනාසුන සමීර යලිත් මා දෙස බැලීය.

"කියන තැනකට වදින්නං මචං ඉස්සරහා බලාගෙන ඩ්රයිව් කරපං. බැරිනං ඔය දඩෝරියව පස්සට දාලා භාග්යා ගනිං ඉස්සරහට "

"උඹ මං පිටිපස්ස බලනවට බය උඹලා කරන ඒවා මට පෙනෙයි කියලනෙ. හරි හරි මං නොබලා යන්නංකො"

එක්වරම රිය තුල සිනාහඬක් පැතිර ගියත් මොහොතකින් සියල්ල නිහඬ විය.

"කම්මැලියි මචං සිංදුවක් පටන් ගමු" පිටුපසින් ඇසුන හඬකට මම යන්තමින් හිස හරවා බැලුවෙමි.

"අඩෝ ගැට්ටා....උඹට සිංදු කියනකොට ඩ්රයිව් කරන්ඩ අමාරුද මචං"

"මේකෙ දොර ජනෙල් ඔක්කොම වහලා නිසා ගැරඬි එයි කියලා බයක් නෑ මචං. කියපන්. ඇයි"

"නෑ සිංදුවක් කියමු කිව්වම භාග්යා මං දිහා බැලුවා බැලිල්ලක්"

" ළමයා බලන්ඩ ඇත්තෙ මළ ගෙදරක යන ගමන් සිංදු කියන්නෙ මොන අපතයද කියලා වෙන්නැති"

ඒත් සමගම පිටුපසින් ගී ගැයීම ඇරඹුනි. සමීරත්  ඉදිරිපස අසුනේ සිටි ඔහුගේ මිතුරාත් රැකියා ස්ථානයේ කුමක්දෝ ගැටළුවක් ගැන කතා කරන්නට පටන් ගත් පසු කම්මැලිකමට මම දෙනෙත් පියා ගත්තෙමි.පැයකටත් වැඩි කාලයක් එක දිගට රිය ධාවනයේ යෙදුන සමීර නිදහස් වටපිටාවක් සහිත හෝටලයක් අසල රිය නතර කරන විට සවස හයට ගුවන් විදුලි ප්රවෘත්ති විකාශය වෙමින් තිබුණි.

"ඇයි මචං තේ බොන්නද"

"ඔව්. ප්ලේන්ටියක් එහෙම බීලා යං. මෙතන හොදයි" කියමින් ඔහු එන්ජිම ක්රියා විරහිත කළේය. අවසරයෙන් දොර ඇරගත් ඔහුගේ මිතුරන් සියල්ල බිමට බසින තෙක් අපි තිදෙනාම සිටියේ නිහඬවය.

"මොකද මේ ගෑණු ළමයි තුන්දෙනාට බහින්න අදහසක් නැද්ද" අසමින් ඉදිරිපස අසුනේ වූ දඩෝරි අයියා රියෙන් බසිනවාත් සමගම සමීරද එතනට ආවේ "ඇයි මචං බස්සවන්න කියනවද" අසමිනි.

"ආසා ඇති" කියමින් මනූජාත් පවනිත් රියෙන් බැස්සේ සමීරට කට ඇද කර සිනාසෙමිනි. මා බසින තුරු බලාසිටි ඔහු දොර අගුළු දමා අප දෙසට ආවේ "ඉක්මණට මොනාහරි කාලා ටොයිලට් එහෙම යන්න ඕනිනං ඒවත් කරගෙනම යමු. මෙතන පිරිසිදුයි. ඒකයි මං මෙතන නතර කරේ" කියමිනි. අප ඇතුළු වනවිටත් සමීරගේ මිතුරන් ප්ලාස්ටික් මේස තුනක් එකට එකතු කර සියල්ලන්ටම එකට අසුන්ගත හැකි තැනක් සූදානම් කර තිබුණි.

"මොනාද මචං කන්නෙ" ඔහු ඔහුට පිටුපසින් පැමිණි මට වාඩිවෙන්නට පුටුවක් පස්සට කරමින් අසුන් ගත්තේ මිතුරන්ගේ මුහුණු දෙස බලා එසේ අසමිනි.

"කන්නෙ උඹ ගානෙනං අපි ආප්ප කනවා. නැත්තං රෝස් පාන් එකක් කාලා ප්ලේන්ටියක් බොනවා" ආඳා නමින් හදුන්වන සමීරගේ මිතුරා කිව්වේ සියල්ලන්ගේම මුවට සිනහවක් කැදවමිනි.

"තොට ඉතිං ආඳා කියන්නෙ නිකන්යැ. රෝස්පාන් කෑවත් බිල මට තියලා මාරු වෙයි" කියූ ඔහු පවනි සහ මනූජා දෙස බලා නැවතත් පෙර පැණයම ඇසීය.

"ඇයි මචං උඹ භාග්යාගෙන් අහන්නැත්තෙ"

"ඌට බය ඇති මචං ඉල්ලන ඒවා මෙතන දෙන්ඩ බැරි වුණොත් කියලා" යලි මහ හඬින් සියල්ලෝම සිනාසෙන්නට ගත්තේ මා රතු කරවමිනි.

"මෙතන දෙන්න බැරිනං මං පුළුවන් තැනකට ගිහින් හරි දීගන්නං. උඹලා ගැන කරදර වෙන්නැතුව කන දෙයක් ගෙන්නපල්ලා. වෙලා යනවා"

"අපි දහ දොළොස් දෙනෙක් මෙතන ආප්ප කන්න ගියොත් වෙලා යයි නේද මචං. මං කියන්නෙ අපි ඔය එළවළු රොටී වගේ දැන් හදලා තියෙන දෙයක් බලලා කමු" රම්බො අයියා එසේ කියමින් නැඟිටිනවාත් සමගම සමීරද නැඟිට්ටේ හැමෝම බිත්තර ආප්ප කනවද අසමිනි.

"කන්න බැරි එකෙක් හිටියොත් මං ඒකත් කන්නං මචං. උඹ ලෝබකම නැතුව ආප්ප පහළොවක් විතර ඕඩර් කරපන්කො"

විනාඩි කිහිපයකට පසු සමීරත් රම්බො අයියාත් පැමිණියේ කෙටි කෑම සහිත බන්දේසියක් රැගත් සේවකයෙකු සමගය.

"මේවත් දැන් හදපුවා. බිත්තර ආප්ප ගේනකල් ඒකට ඉඩ තියාගෙන මේවා කාපල්ලා"

"බය වෙන්ඩ එපා මචං. රජ්ජුරුවො එනකොට ඉබේටම පාරෙ ඉඩ හැදෙන විදිහට අපේ බඩවල් හැදිලා තියෙන්නෙ"

අඩහෝරාවකට ආසන්න කාලයක් විහිළු කරමින් සිනාසෙමින් තේ පානය කර අවසානයේ අප නැවත එළියට එනවිට හාත්පස තිබුණේ මද අඳුරකය.

"ඔය ළමයි තුන්දෙනත් යං පස්සට. අපිත් එක්ක සිංදුවක් කියන්න" අප යලිත් අසුන්ගන්නා විට මද්දුම අයියා රියට නැගුනේ එසේ කියාගෙනය.

"යංද" මනූජා අප දෙදෙනාගේම මුහුණු බලමින් ඇසුවේ උනන්දුවෙනි.

"ඔයා යන්න. මායි භගියි මෙතන ඉන්නං" අවසරයෙන් මනූජා පිටුපසට පැන ගත්තාය. පෙරට වඩා හොද රිද්මයකින් හා උද්යෝගයකින් එවර ගී ගැයීම ඇරඹුනි. මා පවනිගේ උරහිසට හිස තබාගත්තේ ඇගේ අවධානයෙන් මිදී සිත්සේ සමීර දෙසම බලාගෙන ගමනේ යෙදීම පහසු නිසාය.

"ගැට්ටා....උඹ ඊයෙ දවල් හිටි හැටියෙ කොහෙද ගියෙ මචං. මං ඔෆිස් එකට ගියාම කිව්වා හාෆ් ඩේ ගියා කියලා" රම්බො අයියා ඇසුවේ සංගීතය මදකට නැවතුන වෙලාවකය.

"මං ගමේ ගියා මචං. පොඩි නංගිගෙ රිසල්ට් ආවනෙ"

"කොහොමද මචං. ගොඩද"

"ඔව් මචං. මෙඩිසින් යන්න පුළුවන්" සමීරගේ හඬ තුල සතුට තරමටම ආඩම්බරයද නොඅඩුවම තිබුණි. පොඩි නංගි එක්වරම වෛද් විද්යාලයට යා හැකි ලෙස උසස් පෙළ සමත්වන බව බව ඔහු අනුමාන කළේ ඇය උසස්පෙළ කරන්නට පටන් ගත් කාලයේදීමය.

"ෂා...නියමයිනෙ මචං. අම්මටයි අප්පච්චිටයි හෙන හැපී ඇති"

"අප්පච්චිට ඇඬෙනවා මචං. ලොකු නංගිට කැම්පස් යන්න බැරි වුණාට අප්පච්චි හරි අප්සට් එකේනෙ හිටියෙ"

"ආර්ට්ස් කරලා කැම්පස් එනවට වඩා පීඨ ගිය එක හොදයි මචං. දැන් ජොබ් එක තියෙනවනෙ"

"අපි එහෙම හිතුවට අප්පච්චිලාට එහෙම හිතන්ඩ බෑනෙ මචං. ඒත් දැන් පොඩ්ඩි නිසා අප්පච්චි ඉන්නෙ මාර සන්තෝසෙන්" අප්පච්චී පමණක් නොව ඔහුද සිටින්නේ රටක් රාජ්ජයක් දිනාගත්තා වැනි සතුටකිනි.

"මං ඒත් බැලුවා උඹ දානයක් දෙනවා වගේ අපිට කන්න අරන් දුන්නම ලොතරැයියක්වත් ඇදුනද කියලා"

"ලොතරැයියක් වගේ එකකුත් ඇදුනා මචං. මං ලැප් එකක් ගන්න සල්ලි එකතු කර කර හිටියා. ඒත් අද මට මං ගන්න හිතා හිටියටත් වඩා හොද ලැප් එකක් තෑගි ලැබුණා"

"කවුද මචං දානපතියා"

"මං ක්ලාස් කරපු තැනකින් මචං.  හරිනං ළමයා විභාගෙ ලියන්න තිබ්බෙ ගිය අවුරුද්දෙ. ඒත් ළමයා හිටපු ගමන් අසනීප වෙලා ගියපාර මෙඩිකල් දැම්මා. මං ළමයට සබ්ජෙක්ට් තුනම කරා. තුනටම "

ඔහු විෂයන් තුනම ඉගැන්වූයේ දහරාට පමණක් බව දැන සිටි නිසාම ඔහුව මුණ ගැසුන මුල්ම කාලයේ දිනක ඔහු විසින්ම හිත කොණක පැළ කළ විෂබීජය මහා වෘක්ෂයක් වී දහරා කෙරෙහි උපන් ඊර්ෂ්යාවෙන් මහිත පිරී යන්නට ගත වූයේ තප්පරේකටත් අඩු කාලයකි. ඔහු සිය මිතුරන් සමග මා ඉදිරියේම ගැන උදම් ඇනීම මට ඉවසිය නොහැකි විය.

"කවුද මචං අර ආලෝකද කවුද පොඩි කෙල්ලද"

"ආලෝකා"

"නෑ මචං මට නම හරියට මතක නෑ. අර දවසක් සරසවි බුක් ෂොප් එකේදි උඹත් එක්ක පොත් තේරුවෙ. කවුද මචං අර එඩියුකේෂන් එකේ ඩිරෙක්ටර් කෙනෙක්ගෙ දුවෙක් කිව්වෙ"

"ආලෝකා නෙවෙයි මචං දහරා" ඉදහිටක හිත කොණක් පහුරු ගෑ දහරා මොහොතේද මහිතේ වූ සැහැල්ලුව ක්ෂණයකින් උදුරා ගත්තාය. අහම්බෙන් මෙන් ඇසෙන දේවල් සමග මා නොසන්සුන් වූ වග එහා පස වූ පවනිටද දැනෙන්නට ඇත. ඇය සෙමෙන් මගේ අත මත සුරත තැබුවාය. ඇගේ අත දෝතින්ම බදාගත් මා දෙනෙත් පියාගත්තේ මුහුණේ ඇති හැඟීම් නෙතඟින් පළවෙනු සමීර දකිනවාට ඇති අකමැත්තෙනි.

"මූටත් මචං මාර බඩු කෑලි සෙට් වෙන්නෙ. කාලයක් අර වසුන්දරා අනේ තමීර කිය කියා මූට තට්ටු දාන්න ගත්තා. ඔය දහරද කවුද ඊට හපන්. අනේ තමීලයියා ඔවා මොලාද කලන්නෙ මං ඇම චැනම එව්වා කියලා තොදොල් වොයිස් එකකින් කියාගෙන මූයි මායි කතා කර කර ඉන්න මැදට පැන්නා"

"උඹ දැන් ඔය ගෑණු ගැන කියවිල්ල නතර කරගන්නවද"

"ඇත්තටම මචං මට හිතෙන්නෙ උඹට මොකක් හරි රයන්නෙන් එන අපලයක් තියෙනවා. දහරා.....වසුන්දරා.....ඉන්දිරා...උඹට සෙට් වෙන ඔක්කොම රා කෑලිනෙ මචං. මේ ගෑණු ළමයි තුන්දෙනාගෙ නම් වල නැද්ද ඔය රා කෑල්ලක්, සිතාරා උදාරා වගේ" කියමින් ඉදිරිපස අසුනේ වූ දඩෝරි අයියා හිස හරවා පිටුපස බලන බව මට දැනුනි. මා දෑස් පියාගෙන සිටියෙන් ඔහු සිතන්නට ඇත්තේ මා නිදි බවය. ඉන්පසු සමීර ඔහුට කිසිවක් නොකිව්වත් එක්වරම රිය නතර විය. මා හිස ඔසවා බලද්දී අපේ සිව්නෙත් මොහොතක හමුවිය.

"රම්බෝ....උඹට බැරිද මචං ඉතිරි ටික ගෙනියන්න. තව චුට්ට දුරයි"

"ඇයි උඹට මහන්සිද"

"පොඩ්ඩ්ක් නිදිමතයි වගේ මචං. උඹ වරෙන් වරුණිත් එක්කම ඉස්සරහට. මූයි මායි පස්සට එන්නං" රම්බො අයියා කැමැත්ත පල කිරීමටත් පෙර රියෙන් බැසගත් සමීර පිටුපස දොර ඇරියේ මා දෙස බලාගෙනය.

අකමැත්තක් පල නොකල රම්බො අයියා වරුණි අක්කා සමගම බිමට බැස්සේ "මේකට නිදිමත නං වෙන්න බෑ. වෙන මොකක් හරි අමාරුක්ද කොහෙද" කියමිනි.

"සමීර අයියා මෙතනට එනවද" පිටුපස අසුනක සිටි මනූජා ඇසුවේ වනවිටත් සමීර බිම සිටගෙන සිටි නිසා විය යුතුය.

"නෑ මං මෙතන ඉන්නවා" කියමින් ඔහු පවනි අසලින් අසුන්ගත් පසු "හොද නංගි වගේ ඔයත් යන්නකො පිටිපස්සට අපිට ටිකක් අතපය දිගෑරලා වාඩි වෙලා යන්න" කියමින් දඩෝරි අයියා පවනිගේ උරහිස් දෙකෙන් අල්ලා නැඟිට්ටෙව්වේය. පවනි පිටිපස්සට ගිය පසු සමීරව මා දෙසට තල්ලු කළ ඔහු දොර වසා සමීර ළගින්ම වාඩි වූයේ "මනූජගෙ ගෙවල් තියෙන්නෙ කොහෙද" අසමිනි.

"සියඹලාණ්ඩුවට එහා ආණ්ඩුවෙ" මනූජාට පෙර පිළිතුරු දුන්නේ සමීරය. අම්පාර ප්රදේශයෙන් පැමිණ තිබූ මනූජා සහ නලින්ද බොහෝ විට ගම ඇසූ විට උත්තර දෙන්නේද එලෙසය.

"තාත්තට කුඹුරු එහෙම තියෙනවද මනූජා" ඔහු බොහෝ සංයමයකින් එවැනි ප්රශ්ණ අසන්නේ මන්දැයි කුතුහලයක් දැනුනෙන් මා ඔහු දෙස බලද්දී සමීර සිනාසී දෙතොලට ඇඟිල්ලක් තබා මට නිහඬ වන්නට අණ කළේය. අතර මනූජා ඇගේ පියා ගොවියෙකු බව කිව්වාය.

"මේකා පාර මේ මොකාටද එන්ඩ හදන්නෙ. දෑවැද්ද බලලද කොහෙද කෙල්ලො දාගන්ඩ හදන්නෙ" පිටුපසින් ඇසුන හඬට හිස හැරවූ දඩෝරි අයියා නැවත ඉදිරිපස බලාගත්තේ සමීරට ඇසක් වසා කුමක්දෝ ඉඟි කරමිනි.

"කුඹුරු ගොඩක් තියෙනවද මනූජා"

"තියෙනවා. හැබැයි අපිට නෙවෙයි තියෙන මිනිස්සුන්ට"

"දැන්නං පැති වලත් කුඹුරු වැඩ කරනවා ඇත්තෙ මැෂින් වලින් වෙන්නැති නේද"

" පාර මේකා මොනාද මාකට් කරන්ඩ යන්නෙ" පිටුපසින් ඇසුන හඬට එවර කේන්තියෙන් මෙන් හිස හැරවූ  දඩෝරි අයියා යලි ඉදිරිපස බලාගත්තේ "මේ පොඩි කෙල්ලො ටික නැත්තං මං කියනවා උඹට" කියමිනි.

"තාම මී හරක්ගෙනුත් හානවා එහෙමද මනූජා"

"ඔව්"

"ඉතින් හරක් ඉන්නවද එච්චර"

"ඔව් කුඹුරු තියෙන ගොඩක් අයට හරක් පට්ටියකුත් තියෙනවා"

"එහෙනං මේ පාර ගෙදර ගියාම තත්තට පොඩි පණිවිඩයක් කියනවද"

"අවුරුදු හතරක් කෙල්ලො දහ පාළොස් දෙනෙක්ගෙන් ඇණගත්තු මේකා පාර වර්ණපාල තියරියටත් එහා තියරියක්ද කොහෙද දාන්න හදන්නෙ" නැවතත් පිටුපසින් මඩ ප්රහාර එල්ල වුවත් ඔහු සිටියේ ඒවා නෑසුන පරිදිය.

"මොකක්ද අයියෙ"

"තාත්තට කියන්ඩ ඊළඟ පාර කුඹුරු වැඩ වලට ඔයාව තියාගෙන ඔය පට්ටියේ ඉන්න මී එළදෙනෙක් කැම්පස් එවන්න කියලා" එක්වරම මුළු වෑන් රථයම සිනාහඬකින් පිරී ගියේය. මනූජාගේ මුහුණ බලාගත නොහැකි වුවත් එවන් විහිළු වලට පිළිතුරු දෙන්නේ සිනහවෙන් බව මම අත්දැකීමෙන් දැන සිටියෙමි.

"ඇයි මචං මොකද වුණේ" රිය පදවමින් සිටි රම්බො අයියා වරක් හැරී බලා ඇසුවේය.

"නෑ මචං මේ ගැට්ටා සැරින් සැරේ කණ්නාඩියෙන් පිටිපස්ස බල බලා බොහොම අමාරුවෙන් ඇවිල්ලා යන්තං නිදිමතයි කියලා භාග්යා ළඟට එන්න පොටක් පාදාගන්න හදනකොට මේ මෝඩ කෙල්ල පිටිපස්සෙ ඉදන් අහනවා අයියෙ මෙතනට එනවද කියලා" එවර ඔවුන්ගේ සිනාවට මට එකතු වන්නට නොහැකි විය. කම්මුල් වලට ලේ පිරී මා රත්වන බව මටම දැනෙද්දී සමීර දඩෝරි අයියාගෙ පිට මැදට පහරක් එල්ල කරන්නට සූදානම් වුවත් ඔහු එය වලකාගනිමින් පිටුපස අසුනකට මාරු විය.

සමීර මා දෙස බලා සිටින බව දැනුනද මා සිටියේ ඉවත බලාගෙනය. මොහොතකට පෙර දහරා කෙරෙහි ඇති වූ ඊර්ෂ්යාව යටපත් වෙමින් සමීර කෙරෙහි වූ නොමනාපය  හිත පුරා පැතිරෙමින් තිබුණි. මගේ යහළු යෙහෙළියන්ද වරින්වර සමීර ගැන කියමින් විහිළු තහළු කළද සමීරගේ මිතුරන් ඉදිරියේ මා එතරම් අපහසුතාවයකට පත් වූයේ මුල්වරටය. සිය මිතුරන් ගැන දන්නා ඔහුට පිටුපසට පැමිණීමට පෙර ගැන සිතන්නට තිබුණි.

මගේ සිත පෙළන සිතුවිලි හෝ මා පත්වූ අපහසුතාවය ගැන හැඟීමක් නැති පරිදි ඔහු තව ටිකක් මට සමීප වී කණට පිම්ඹේ මා කෝපයට පත් කරවමිනි. රවා බලන්නට උවමනා වුවත් යටිසිත ඊට අකමැති විය.

"ඔයාගෙන් ගිනි පිටවෙනවා. පොඩ්ඩක් නිවන්න කියලා හැදුවෙ" මගේ සිතේ ඇති කෝපය හඳුනාගෙන මෙන් ඔහු මිමුණුවේය.

"මං හෙට ඔයාලට බස්සලා එහෙමම ආපහු ගෙදර යනවා" ටික වේලාවක් මා දෙස බලා සිටි ඔහු එහෙම කිව්වෙ මගේ කේන්තිය නිවී ඇති බව අනුමාන කරගෙන මෙනි.

"ඇයි ආයෙ යන්නෙ. අද උදේ ගෙදර ඉදලනෙ ආවා කිව්වෙ"

"මං අර ලැප් එක පොඩ්ඩිට ගිහින් දෙනවා හෙටම"

"මොන"

"මොන කියන්නෙ මං ළඟ දහය පහළොවක් නෑනෙ. මං කිව්වෙ දහරලාගෙන් ලැබුණ එක"

"ඇයි . අපරාදෙනෙ. ඒක නංගිට වඩා ඔයාටනෙ වටින්නෙ"

"ඔයා නොදන්නවා වුණාට ඔයාගෙ හිනාව මට ඔක්කෝටම වඩා වටිනවා කෙල්ලෙ" කියා සවණට මිමිණූ ඔහු මගේ උකුල මත වූ අත තදින් මිරිකා අත්හැර තරමක් මගෙන් ඈතට වුණේය.

සතුටත් දුකත් අතර දෝලනය වෙමින් තිබූ හැඟීම කඳුළකට පෙරලෙන්නට අර අදින බව තේරී මම තදින් දෑස් දෑස් පියාගත්තද ඔහු මා දෙසම බලා සිටින බව මට දැනෙමින් තිබුණි.

"මං හිතා හිටියෙ කවදාවත් ගෑණු ළමයෙකුට ක්ලාස් කරන්නෑ කියලා. ඒත් දහරගෙ ක්ලාස් එක මට බෑ කියන්න බැරි හේතු ගොඩක් තිබ්බා. ලොකු අප්පච්චියි දහරගෙ තාත්තයි කැම්පස් ඉදලා තියෙන්නෙ එකට. දැන් ලොකු අම්මයි දහරගෙ තාත්තයි ඉසුරුපායෙ වැඩ කරන්නෙ එකට. ඔක්කෝටම වඩා ළමයා නිතර නිතර ලෙඩ වෙන නිසා ආන්ටිලා කැමති නෑ පිට ක්ලාස් වලට යවන්න. මං මුලින් අකවුන්ට්ස් විතරයි බාරගත්තෙ. ඒත් ළමයට අනිත් සබ්ජෙක්ට් දෙක උගන්නන්න ආව ගුරුවරු දෙන්නම මුලදිම වැඩේ අතෑරලා දාලා එයා නිතර ලෙස වෙන නිසා ක්ලාස් පිළිවෙලට කරන්න බැරි වෙන නිසා"

දිගු කතන්දරයක් කෙටියෙන් පාපොච්චාරණය කළ ඔහු තවත් කුමක්දෝ කියන්නට මෙන් මට ළංවනවාත් සමගම ඔහුගේ ජංගම දුරකතනය නාදවන්නට පටන් ගත්තේය. තරමක් ඉස්සී කලිසන් සාක්කුවේ වූ දුරකතනය අතට ගත් ඔහු එහි මුහුණත පරීක්ෂා කර ඇමතුමට සම්බන්ද වූයේ "ඇයි මචං අපි ළඟ ඉන්නෙ" කියමිනි. එදෙසින් කතා කරන්නා කියන්නේ කුමක්දැයි නොඇසුනද එය මා සම්බන්ද යමක් බව වැටහුනේ ඔහු මා දෙස බලාසිටි අයුරිනි.

"හරි හරි. වැඩිම වුණොත් තව විනාඩි විස්සක් යයි......නෑ මචං ගොඩක් නෑ අපි දොළහයි. රම්බොයි, වරුණියි, දඩෝරියි, ආඳයි, සිරයි, මද්දුමයි, සරාලා දෙන්නයි අපි හතර දෙනයි" කියා ඇමතුම විසන්දි කළ ඔහු "කවුද මනූජා කල්පනී කියන්නෙ" කියා මනූජාගෙන් අසමින්ම යළි මා දෙස බැලුවේය.

"ඇයි කල්පනී ගැන අහන්නෙ" ඔහුගේ පැණය කුමක් නිසාදැයි සිතාගත නොහැකිව උන් මා ඇසුවේ ඔහුට පමණක් ඇසෙන තරම් සෙමින් වුවත් "බය වෙන්ඩ එපා යාළුවෙන්ඩ නෙවෙයි" කියා ඔහු පිළිතුරු දුන්නේ කාටත් ඇසෙන තරම් උස් හඬකිනි. පිටුපස සිටි ඔහුගේ මිතුරන් මෙන්ම මගේ යෙහෙළියන්ද සිනාසෙන්නට පටන් ගත් පසු මා ඉවත බලාගත්තේ වරක් නෝක්කාඩුවෙන් ඔහු දෙස බැලීමෙන් අනතුරුවය.

"ඇත්තටම කවුද මනූජා කල්පනී කියන්නෙ. අර උස කෙට්ටු ළමයද"

"මුන්ගෙ බැච් එකේ ඔක්කොම දර ඉපල් වගේ වෙච්චිකොට උඹ ඔය අහන්නෙ මොන එකී ගැනද"

"කවුද පවනි" සමීර නැවතත් එකම පැණය පවනිටද යොමු කළේ මනූජාගෙන් පිළිතුරක් නොලැබෙන විට තරමක් නොසන්සුන්වය.

"ඔයා කියන කෙනා වෙන්නැති අයියෙ. ගම්පහ පැත්තෙ ගර්ල් කෙනෙක්. නිතරම ෂෝට් ස්කර්ට්ස් ඇඳලා එන්නෙ. කොණ්ඩෙ ස්ට්රේට් කරලා"

"ඒකි වෙන කොහෙහරි යන ගමන් කැම්පස් එනවද නැත්තන් කැම්පස් එන ගමන් වෙන කොහෙ හරි යනවද"

"ඒකනං අපිටත් හිතාගන්න බෑ අයියෙ"

"ඉතින් මනූජට බැරිද වෙලාවක විහිළුවෙන් වගේ අහලා බලන්න"

"එයා වැඩිය අපිත් එක්ක කතා කරන්නෑ. වැඩිය නෙවෙයි කොහොමවත්ම. විශේෂයෙන්ම භගී එක්ක"

"ඇයි මෙයත් එක්ක මොකක් හරි තරහක් තියෙනවද" අසමින් සමීරද කතාවට සහභාගි වූයේ උනන්දුවෙනි.

"කිව්වට කමක් නෑ නේද භගී"

"කියන්න"

"එයා ජනකට ට්රයි. ජනක භගී එක්ක ක්ලෝස් නිසා එයා භගී එක්ක ජන්ම වෛරයි. අදත් එයාලා හිතන්නෑ භගී එයි කියලා. දැන් සමහරවිට ගිහින් අපිට දෙහි කපනවා ඇති"

"එහෙනං අරූ කෝල් කරන්න ඇත්තෙ ඌට කණක් ඇහිලා ඉන්න දෙන්නැති තැන වෙන්නැති" කියා සමීර මා දෙස බැලුවේය.

"කවුද අයියට කතා කරේ අංජනද"

"නෑ ජනක" කියා කිසිවෙකුගේ අවධානය අප වෙත නැති බව සැකහැර දැනගන්නට මෙන් ඉදිරිපසට මෙන්ම පිටුපසට නෙත් යැවූ සමීර මට ළං වූයේ "ජනක ඇයි ඔයාට ආදරේ කියලා දන්නවද" අසමිනි. කිසිදු යුවතියක් තමා එක හිතින් පෙම් කරන පුද්ගලයාගේ මුවින් අසන්නට බලාපොරොත්තු නොවන පැණයෙන් මොහොතකට මා තිගැස්සුනද සමීරගේ මුහුණේ දුකක හෝ ඊර්ෂ්යාවක සේයාවක්වත් නොතිබුණ නිසා මට පිළිතුරක් ගලපා ගත හැකි විය.

"ජනකගෙ නංගි මං වගේලු"

"ඔයා දැකලා තියෙනවද ෆොටෝ එකකින්වත්"

"නෑ"

"ඔයා නංගි ගැන විස්තර අහලා තියෙනවද"

"ඒත් නෑ"

"ඇයි . කොල්ලෙක් ඔයා එයාගෙ නංගි වගේ කියලා ඔයාට විශේෂයක් කරනකොට ඇයි කියලා හොයලා බලන්න ඔයාට හිතුන්නැද්ද"

"මං දවලුත් කිව්වෙ අපෙ අම්මා එදා කැම්පස් එකේදි ජනකලා අම්මත් එක්ක ගොඩක් යාළු වෙලා යනකොට ජනකට කියලත් ගියෙ මාව බලාගන්න කියලා. මාත් මුලින් හිතුවෙ අර දවාලෙ මනූ කිව්වා වගේ එයා මේ ඩියුටියක් කරනවා කියලා. දවසක් නලින්ද එක එක ඒවා කියනකොට තමයි කිව්වෙ නංගි මං වගේ කියලා. මට දවසක් දෙකක් නෝට් වෙලත් තියෙනවා මං දිහා බලන් ඉන්නකොට ජනකගෙ ඇස්වල කඳුළු පිරෙනවත්"

" ඇයි කියලා ඔයා ඇහුවෙ නැත්තෙ ඇයි"

"ඇත්තටම මට බය හිතුනා. මට හිතුනා නංගි කිව්වට මං වගේ කෙල්ලෙක් එක්කවත් යාළු වෙලා ඉදල ඒක නැති වෙලාද කියලත්. එහෙම වෙලානං ඒක ගැන හාරා අවුස්සන්න ගිහින් නැති ලෙඩක් වැටෙයි කියලා මට බය හිතුනා"

"ඔයාලා කවුරුත් දන්නැතුවට ජනක ඔය කියන නංගි දැන් නෑ. නැති වෙලා. ජනක අපේ වයස. පළවෙනි පාර විභාගෙ ලියන්න කිට්ටු වෙලා තමයි නංගි නැති වෙලා තියෙන්නෙ. දෙපාරක්ම බැච් මිස් කරලා විභාගෙ කරලා තියෙන්නෙ"

"අනේ පව්"

"ඉතිරි ටික ඇහුවම ඔයා අඬනවා"

"ඇයි"

"ජනකලාගෙ ගෙදර ඉදලා තියෙන්නෙ අයියයි ඌයි නංගියි. ගෙදර එකම කෙල්ල නිසා තාත්තා නංගිට පණ ඇරගෙන ඉදලා තියෙන්නෙ. නංගි නැති වුණාම හොස්පිටල් එකෙන් කෝල් එක දීලා තියෙන්නෙ තාත්තට. එතනින් එහාට වුණේ මොකක්ද කියලා අදටත් දන්නෑ. තාත්තගෙ වාහනේ පත ගහක හැප්පිලා තාත්තා ඒකෙ හිරවෙලා ඉදලා තියෙන්නෙ.නංගිගෙ ෆියුනරල් එක දවසෙවත් තාත්තට සිහිය තිබිලා නෑ. එදා ඉදලම තාත්තා එක්තැන් වෙලා ඉදලා තියෙන්නෙ. හරියට සිහියක් තිබිලත් නෑ වචනයක්වත් කතා කරලත් නෑ"

"අනේ අපි ඔය විස්තර මොකුත් දන්නෑනෙ. තාත්තා අසනීපෙන් කියලා දන්නවා. ඒත් ඔච්චර විස්තර දැනන් හිටියෙ නෑ"

සහෝදරයන් මෙන් ළඟින් ඇසුරු කළද මෙතෙක් දිනක් ඔහුගෙන් පුද්ගලික තොරතුරු නොඇසීම මා කළ වරදක් විය. කෙනෙකුගේ පුද්ගලික තොරතුරු හාරා ඇවිස්සීමේ පුරුද්දක් නොවූයෙන් මට එය මඟ හැරෙන්නට ඇත. වෛද්යවරයෙකු වූ අයියා විවාහකයෙකු බවත් තාත්තා රෝගීව නිවසේ සිටින බවත් දැන සිටියද ගැන වැඩි විස්තරයක් පවනි හෝ මනූජාද නොදන්නා බව මට විශ්වාසය.

"දැන් ගැන හිතලා වැඩක් නෑනෙ. ඔයාට මළගෙදර හරි එන්න ලැබුණ එකත් ලොකු දෙයක්නෙ"

"අම්මා මගෙන් ගෙදර ගියාමත් සමහර දවස්වලට ජනකලාගෙ විස්තර අහනවා. සමහරවිට මං නොදැන හිටියට අම්මා දැනන් ඉන්න ඇති විස්තර"

" මට හිතෙන්නෙ ඔයාලගෙ අම්මට ජනකව බෑණා කරගන්නත් හිතේ තියෙනවද කොහෙද. ජනක හොද හැන්ඩ්සම් කොල්ලා. උන්ටත් ඔයාලට වගේම හොදට සල්ලිත් තිබිලා තියෙනවා. නංගි ලෙඩ වුණාට පස්සෙ තාත්තා ඒකෙන් හෙනට අප්සට් වෙලා බිස්නස් ටික ටික වැටුනලු. පස්සෙ තාත්තත් ඇක්සිඩන්ට් උනාගෙන් තවත් වැටෙන්න ඇති. ඒත් මං දන්න තරමින් උන්ට තාමත් හොදට සල්ලි තියෙනවා. ජනකයා තමයි ඉගෙනගන්න ගමන්ම ඔක්කොම හැන්ඩ්ල් කරන්නෙත්"

"අර ඉන්දිරා දවසක් කිව්වෙ දහරගෙ අම්මට  ඔයාව බෑණා කරගන්න අදහසක් හිතේ තියෙනවා කියලා.... වගේද?"

මා විහිළුවක ස්වරයෙන් කිව්වත් සමීරගේ මුහුණ බලා සිටියදීම අඳුරු විය. නළල රැලි කරමින් මා දෙස රවා බැලූ ඔහු ඉන්පසු මළගෙදර ළඟට එනතුරුම මා සමග වචනයක්වත් කතා නොකරන්නට පරිස්සම් විය. මා සිටියේ වැරදි මාතෘකාවකින් ගෙවෙන්නට තිබූ සොඳුරු මොහොතක් අඳුරුකර ගැනීම ගැන සිතින් මටම දොස් පවරා ගනිමිනි.

 

15 comments:

  1. හ්ම් අද මරු.දිග උනාට කියවගෙන ආවා තේරුණේවත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්තමයි...මාත් එක හුස්මට කියවගෙන ආවා...හරිම අගෙයි සඳා..තීසිස් එක ලියල ඉවර වෙලා මේකත් පබ්ලිෂ් කරන්න නවල් එකක් විදියට...

      Delete
    2. හැලපෙ, දිග වුණත් කම්මැලි නැතුව කියවන්න පුළුවන් වුණ බව ඇහුවම සතුටුයි.

      ඔය කතාවෙ දිග සම්බන්ධයෙන් තියෙන්නෙ වෙනම ප්‍රශ්ණයක්. ෆේස් බුක් පාඨකයො කෑ ගහනවා දිග මදි කියලා. ලින්ක් එක බලන්නැතුව මං ඒකට කොපි කරන ටික විතරක් කියවලා එහෙම කියනවද දන්නෙත් නෑ

      Delete
    3. නෝ මෝ තීසිස් පොකුරු.

      යාන්තං මේ ආත්මෙ තීසිස් ටික ඉවර කරා. ආයෙ ඉතින් මේ ඔළුවෙ අමාරුවත් එක්කම ඉපදුනොත් ඊළඟ ආත්මෙට තමයි තීසිස් නං.

      Delete
    4. ඇයි බං JSPS එකෙන් පොස්ට්ඩොක් එකකුත් හදාගෙන කෙරුවම මොකෝ, තව වයසක්යැ
      - ජපන් ඇනෝ

      Delete
    5. ඒ කියන්නෙ සඳා මවුරට බලා යනවද?
      සබිෂීයි නා..
      - ජපන් ඇනෝ

      Delete
    6. ඇනො සං 久しぶり desu ne,

      මං හිතුවෙ ජපන් කතා නැවැත්තුවම ඔයා මේ පැත්ත බලන්නෙවත් නෑ කියලනෙ.

      මට ලොකූඌඌඌඌඌඌඋ.............උදව්වක් ඉල්ලන්න හොයාගන්න නැතුව හිටියෙ

      උදව්වක් කරන්න කැමති නං තාවකාලිකව හදාගත්තු මේල් එකකින් හරි මට මේල් එකක් එවන්න. එහෙම බැරිනං මං උදව්ව මෙතන ලියන්නං.

      Delete
    7. ඇනෝ මිත්‍රයා
      ඔව්නෙ. මව් රට බලා යන්න දවස් ගැන ගැන ඉන්නෙ. පැය කට්ට කැරකෙන්න විනාඩි දෙතුන් සීයක් යනවා වගේ දැනුන නිසා තමයි ජපන් සීරිස් එක නවත්තලා කතාවකට බැස්සෙ.

      තව වයසක්යැ කියන්නෙ මැරෙන්ඩද?

      අපි දැන් ඉගෙනගත්තා මදෑ. ආයෙ ඉගෙන ගන්න එන්න කලින් මේ ඉගෙන ගත්තු ටික අපෙන් ඉගෙන ගන්න බලන් ඉන්න අයට දීලා එන්න එපැයි.

      Delete
    8. ලොකූඌඌඌඌඌඌඋ.............උදව්ව මොකද්ද කියල මෙතන ලියන්න පුලුවන්නම් ලියන්නකො.
      නැතිනම් කියන්න.
      කල හැකි උදව්වක් නම් අනිවා..
      - ජපන් ඇනෝ

      Delete
    9. සඳා What's youe email addres ?
      ජපන් ඇනෝ

      Delete
  2. හරිම ලස්සනයි..

    ReplyDelete
  3. හරිම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! අචිනි

      Delete
  4. දිගක් කොටක් දැනුන්නෑ එක හුස්මට කියෙව්වා... ඔක්කොම පෝස්ට් උනාම ආයේ මුල ඉඳන් කියවන්න වටිනවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! ගස්.

      එහෙම කිව්වම මට සන්තෝසයි. මං මේක ලියන ගමන් මග නවතින නවතින තැනදි කියන නිසා මට ඇත්තටම අප්පිරියයි කියවන්න. ඒ නිසා මට හිතෙනවා අනිත් අයටත් එහෙම ඇති කියලා. බැදගත්තු බෙරේ ගහන්න ඕනිනෙ කියලා හිතාගෙන ලියාගෙන යන්නෙ.ඒත් එහෙම නෑ කියලා දැනුනම ඉතිරි ටික ලියන්න කැමැත්තක් ඇති වෙනවා.

      ඔක්කොම එකවර කියවන චාන්ස් එක මේ සති අන්තෙ වෙනකොට දෙන්න මං උපරිම උත්සහ කරනවා

      Delete