Sunday, July 17, 2016

උරුමය - හයවන කොටස


සති අන්තයේ තනිව නිවසට යන්නට අම්මාගෙන් අවසර ලැබුනේ දිනවලමය. නිවසට ගියත් එහි වෙනදා නොතිබි පාළුවක් දැනෙන්නට වූයේ හිච්චි අයියා නැති අඩුවට අමතරව සමීරව දකින්නට නොමැති සන්තාපයට විය යුතුය. එනිසාම ඉරිදා උදෑසනින් නිවසින් පිටව එන්නට සූදානම් වුවත් හදිස්සියේ නිවසට පොඩි අයියා සඳුදා උදෑසනින් මා ඇරලවීමට පොරොන්දු වූයෙන් බලාපොරොත්තුවත් එතනම කඩවිය. සඳුදා සවස දේශණයක් අවසන්ව එනවිට මට සමීර මුණ ගැසුනේ අහම්බෙනි.

"මොකෝ අද තනියම"

"පවනිලා මළ ගෙදරක ගියා"

"ඒක මිසක්. ඉතින් ඇයි ඔයා මළ ගෙදර ගියෙ නැත්තෙ"

" අප්පච්චි යන්න එපා කිව්වා. මනූලා අද මළ ගෙදර යනවා කියලා දන්නවනං මං උදේ එන්නෙත් නෑ"

" කියන්නෙ ළමයා ගෙදර ගිහින්. තනියමද ගියෙ" ඔහු සිනාසෙමින්ම අසන්නට ඇත්තේ මා පෙරදිනක ඒ ගැන කියූ දේවල් මතකයට නැගුන නිසා විය හැක.

"තුෂාරි කියලා උඩුදුම්බර යාළුවෙක් ඉන්නවා. එයත් එක්ක නුවරට ගියා"

"එහෙනං මට පැණි වළල්ලක් කන්න පුළුවන් වෙයිනෙ"

"පුළුවන්. හැබැයි පාර්සලේ හොස්ටල් එකේ"

" කියන්නෙ මං හොස්ටල් එකට එන්න ඕනි කියලද"

"අපෝ නෑ. අයියා කැන්ටිමේ ඉන්න. මං ටක් ගාලා අරන් එන්නං"

නේවාසිකාගාරයට ආවේ කෙලෙසදැයි මතක නැති තරමට මගේ ගමන වේගවත් විය. වෙනදාට මැසිවිලි නගමින් අම්මාට සහය වන මා මේ වතාවේ ඇයට පැණි වළලු සෑදීමට උදව් වූයේ කැමැත්තෙනි. ප්ලාස්ටික් පෙට්ටියක අසුරා තිබූ සමීර වෙනුවෙන් රැගෙන පාර්සලය අතට ගත් මා ආපනශාලාව තුලට ආවේ පස්වනක් ප්‍රීතියෙන් ඉපිලෙමිනි. සමීර සමග නිදහසේ ටික වේලාවක් කතා කරන්නට ඊට වඩා හොද දවසක් උදා නොවෙනු ඇති බව මගෙ සිත මටම කොඳුරන්නට වූයේ මළ ගෙදර නිසා සරසවිය පුරාම තිබුණ පාලු ස්වරූපය ආපනශාලාව තුලද තිබෙනු දුටු විටය.

"භාග්යා මං මෙහේ" කෙලවරේම මේසෙකට අසුන්ගෙන  සමීර මා එනතෙක් බලා සිටියේ තේ කෝප්පයක්ද ළඟ තබාගෙනය.

" මෙන්න" මා දෝතින්ම පෑ පාර්සලය ඔහු අතට ගත්තේ සිනාසීගෙනය. සිනාවට වශී වී සිටි මට ඉදගන්නට ඔහු අසලම වූ පුටුව පස්සට කළ ඔහු "මං ඔයාට අයිස්ක්රීම් එකක් ගෙනාවා" කියමින් මගේ අතින් තැබුවේ මා ප්රියකල චොකලට් අයිස්ක්රීම් එකකි.

"අයියට"

"මට එපා. ඔයා කන්න. මං පැණි වළල්ලක් කාලා බොන්න ප්ලේන්ටියක් ගෙනාවා. කමක් නෑනෙ මෙතනදිම කෑවට"

"අපෝ කමක් නෑ" ඔහු එය විවර කර ප්ලාස්ටික් පෙට්ටියේ පියන මත පැණි වළලු දෙකක් තබා නැගිට්ටේ "මං මේ ටික අරුන්ට දීලා එනකල් ඔය දෙක බලාගන්ඩ " කියා එහා මේසයක සිටි පිරිස පෙන්වමිනි. එවැන්නක් මා අපේක්ෂා නොකළද ඉන් සිදුවුයේ ඔහු කෙරෙහි වූ පැහැදීම තවත් වැඩිවීමය. වනවිට විශ්ව විද්යාලයට ගොස් හය මසකට කිට්ටු කාළයක් ගතව තිබුණද දකින ඕනෑම කෙනෙකු හා කෑමක් බීමක් බෙදාහදා ගැනීම තබා සුහදව කතාබහ කොට සිනාසීමටවත් මා පුරුදුව තිබුණේ නැත.

"වෙන දවසක් වගේ උනානම් මේක දිගෑරලා අතේ ගෑවිච්ච පැණි ටික ලෙවකන්න තමයි වෙන්නෙ. ඔයා ගෙදර ගිහින් ඇවිත් තියෙන්නෙ හොදම දවසක" ආපනශාලාවට ඇතුළු වනවිටම මගේ සිත මට කොඳුරා කියූ දේම වෙනත් ආකාරයකින් කියමින්යලිත් මා අසලින් වාඩි වූ ඔහු පැණි වළල්ලක් කමින් තේ බොන්නට ගත්තේ සතුටිනි.

"රසයි. කවුද හැදුවෙ අම්මද"

"ඔව්"

"අම්මා මේවා හදනකල් දුව මොනාද කරේ"

"මං අම්මට උදව් කරා"

"හදන හදන එක කාලද?" මට සිනහව නවතා ගත නොහැකි විය.

"ඇයි හිනාවෙන්නෙ. අපිනං අම්මට කෑම හදන්න උදව් වෙන්නෙ එහෙමයි"

මා එතරම් සැහැල්ලුවෙන් සිනාසෙන්නට ඇත්තේ බොහෝ දිනකට පසුය. ඊට පෙර දින කිහිපයේම සමීර ගැනම සිතමින් සිටි මට විහිළුවකට හිනාවෙන්නටවත් හිතක් නොතිබුණි.

"අම්මා මොනාද කරන්නෙ භාග්යා"

"ගෙදර හැම වැඩක්ම කරන්නෙ අම්මා තමයි අයියෙ. උයනවා. කෑම ජාති හදනවා. මල් හදනවා. රෙදි මහනවා. ඔය ඔක්කෝටම වඩා අපෙ අම්මගේ විනෝදාංශෙ තමයි වූල් ගොතන එක" පෙරදිනක අප්පච්චී ගැන සදහන් කළ මොහොතේ මෙන්ම එවරද ඔහු මා දෙස බලා සිටියේ පුදුමය කැටි වූ බැල්මකිනි.

"ඔයා හරි ෂෝක් දුවෙක්නෙ. ගොඩක් දෙනෙක් අම්මා රස්සාවක් කරන්නැත්තං කියන්නෙ ගෙදර නිකං ඉන්නවා කියලනෙ"

" අපෙ අම්මට නං ගෙදර නිකං ඉන්න වෙලාවක් නෑ. තිබුණත් අම්මා එහෙම ඉන්නෙත් නෑ. අපෙ අම්මට ලස්සනට මහන්නත් පුළුවන්. ගොතන්නත් පුළුවන්. මං අදින ගොඩක් ඇඳුම් අම්මා මහපුවා"

"දුවට බැරිද වැඩ"

"පුළුවන්. හැබැයි අම්මට තරං හොදට බෑ"

"මං අහන්නම්කො අම්මගෙන්ම"

"අපෝ අම්මව ආපහු කීයටවත් මෙහෙ එක්කරගෙන එන්න නං මගේ අදහසක් නෑ. කපල්ස් දෙක තුනක් දැක්කම මාව එවෙලෙම ගෙදර එක්ක යයි"

" එතකොට ඔයා මෙහෙදි කොල්ලෙක් එක්ක එහෙම යාළු වුණොත් අම්මා මොනා කියයිද"

"වෙන මොකුත් නං කියන එකක් නෑ. ආයෙ මට ගෙයින් එළියට බහින්න දෙන එකක් නැති වෙයි. එච්චරයි"

"එහෙනං මං එන්නංකො දවසක ගෙදර හොයාගෙනම අම්මව හම්බවෙලා යන්න. අම්මව මෙහෙ එක්ක එන්න අකමැති වුණාට මං ගෙදර එනවට භාග්‍යාගෙ අකමැත්තක් නෑනෙ"

"මං මොකටද කවුරුත් ගෙදර එනවට අකමැති වෙන්නෙ"

"හැබැයි මං එන්නෙ ඔයාට මහන්න ගොතන්න පුළුවන්ද අහන්න නං නෙවෙයි"

"එහෙනං "

"ඒක ඔයාගෙන් අහලා වැඩක් නැති එකක් නිසා මං ඇවිත් අම්මගෙන්ම අහගන්නංකො"

දින ගණනාවක සිටම මා අසන්නට බලාපොරොත්තු වූයේ එවැන්නක් නොවූවත් මට දැනුනේ ඔහු  ව්‍යංගාර්ථයෙන් කියන්නේද එයම බවය. සිතින් කෙතරම් පෙම් කරමින් සිටියත් එය ඇසෙද්දී මා වෙව්ලන්නට ඇත්තේ එහි බරපතලකම මතක් වීමෙනි. අප්පච්චී ගිනි පිටවෙන දෑසින් මා දෙස බලාසිටිනවා වැනි හැඟීමකින් මොහොතේ මා පීඩා විදින්නට ඇත්තේ එනිසාය.

"ඇයි මේ බයවෙලා වගේ" සමීර ඔහුගේ පුටුව මා සමීපයට ගත්තේ හිස ඇලකොට මගේ මුහුණට නැඹුරු වෙමිනි

" ඇයි මං ගෙදර එනවා කිව්වම බය උනේ " මගෙන් පිළිතුරක් නොලද පසු ඔහු යළිත් පෙර පැණය ඊටත් වඩා උනන්දුවෙන් ඇසීය.

"මං බය උන්නෑ"

"නැත්තෙ මොකද. මේ හීන් දාඩියත් දාලද කොහෙද?" කියමින් ඔහු සිනාසුනේ නළලත රැඳුනු සිහින් දාබිඳු දෙස බලමිනි.

"අම්මා සැරද"

"අපෝ නෑ"

"එතකොට අයියලා"

" ලොකු අයියා චුට්ටක්වත් සැර නෑ . පොඩි අයියා නං ටිකක් සැරයි. හිච්චි අයියට තරහා යන්නෙ එයා කියන දේ ඇහුවෙ නැතිකොට විතරයි"

" කියන්නෙ ළමයා අයියලාට අකීකරු වෙන වෙලාවලුත් තියෙනවා"

"හැම වෙලේම නෙවෙයි"

" අයියා නේද ළඟදි රට ගියා කිව්වෙ"

"ඔව්"

"එතකොට අනිත් දෙන්නා ඉන්නෙ කොහෙද"

"පොඩි අයියා නං කටුගස්තොට. ලොකු අයියා කොහෙ ඉන්නවද කියලා එයා විතරයි දන්නෙ"

"ඇයි එයා ගෙදරත් එක්ක තරහා වෙලාද"

"එයානං තරහා නැතුව ඇති. ඒත් අප්පච්චි එයාගෙ මැරේජ් එකට අකමැති වුණ නිසා එයාට ගෙදරින් යන්න වුණා. ඊට පස්සෙ එයා ගෙදර ආවෙම නෑ. දැන් අවුරුදු පහකටත් වැඩියි"

"ඉතින් අප්පච්චිලා හෙව්වෙ නැද්ද"

"නෑ. අපේ අප්පච්චි දෙයක් කිව්වොත් කිව්වම තමයි. ලොකු අයියා වුණත් එහෙම තමයි. නැත්තං දැන් හරි එයාට ගෙදර එන්න පුළුවන්නෙ"

"සමහරවිට අයියලා ලංකාවෙ නැතුව ඇති"

"වෙන්නැති. හිච්චි අයියත් රට ගියාට පස්සෙ මට ලොකු අයියා නැති අඩුව හරියට දැනුනා. පොඩි අයියා හිටියට එයා අර දෙන්නා වගේ මාව බලාගන්නෑ"

"භාග්යා" අයියලා ගැන සදහන් කරද්දී මගේ හඬ තරමක් මුක්කන් වූ නිසාමදෝ ටික වේලාවක් නිහඬවම උන් ඔහු මගේ මුහුණට එබෙමින් රහසින් මෙන් කතා කළේ මොහොතකට මා තිගස්සවමිනි.

එදා ඔහුගේ කටහඬට පවා සසල වූ මට යළි කිසි දිනෙක ඒ සුසුමකටවත් උරුමකම් කිව නොහැකි බව මතකයට නැගෙද්දී දෑසට ඉනූ කඳුළු මට පාලනය කරගත නොහැකි විය. අත්ලින් කඳුළු පිසිමින්ම පරිගණක තිරය දෙස බැලූ මා තිගැස්සුනේ මට පිටුපසින් ලොකු අයියා සිටගෙන සිටිනවා දුටුවිටය.

"කොයි ලෝකෙද මෙච්චර වෙලා හිටියෙ. මං කී පාරක් කතා කරාද"

"ඇයි මොනාද කරන්න ඕනි"

"කරන්න ඕනිද. කරන්න ඕනි ඔය කඳුළු පිහදාගෙන ඇඬුවෙ ඇයි කියලා මට කියන එක" මා ඉදිරියෙන් සිටගත් ඔහු රිදෙන තරම් හයියෙන් උරහිස අල්ලාගෙන සොලවන්නට වූයේ කේන්තියෙනි.

"මට අම්මා මතක් උනා ලොකු අයියා" දෙවරක් නොසිතාම මම ඔහුගේ ප්රශ්ණ වලින් ගැලවිය හැකි හොදම ආයුධය  පාවිච්චි කළෙමි.

"මට තව ටික දවසක් දෙන්න චූටි මැණික. මට අර්ජන්ට් වැඩ ටිකත් තියෙනවා. ටික සෙට්ල් කරගෙන මං ඔයාව ගෙදර එක්ක යන්නං"

"මගෙ හොඳ අයියා"

"හොද අයියා යකෙක් කරගන්නැතුව ඇඬුවෙ ඇයි කියනවද. ඇඬුවෙ ගෙදර මතක් වෙලා වෙන්ඩ බෑ"

"මගෙ ඔළුව රිදෙනවා"

"ඒකට පොඩි එවුන් වගේ අඬලා හරියනවද බෙහෙත් ටිකක් ගන්නැතුව"

"බෙහෙත් ගන්ඩ ඕන්නෑ. මට චුට්ටක් කලින් ගෙදර යන්ඩ දෙනවද?. ප්ලීස්"

"යමු. මං ගිහින් දාලා එන්නං"

"අයියා ඉන්න. මට තනියම යන්න පුළුවන්. ඔයත් මං එක්ක ආවොත් හෙට වෙනකොට මෙතන නැති කතන්දර හදලා තියයි"

"ඕනි එකෙක් ඕනි එකක් කියපුවාවෙ. අපිට මොකද. කවුරු මොන කතන්දරේ හැදුවත් ඔයා මගේ නංගි කියලා ඔයත් දන්නවා. මාත් දන්නවා. ඉතින් ඇයි අපි ඒකට බය වෙන්නෙ"

"එහෙනං ඇයි ඔයා මං නංගි කියලා මාව ගන්නකොටම කිව්වෙ නැත්තෙ"

"ඔයා හිතන්නෙ මං එහෙම කිව්වා කියලා කට්ටිය ඒක පිළිගනියි කියලද?. මං දන්නැද්ද මේ ඔෆිස් එකේ අයගෙ කටවල්. ගෑණි මැරිලා අවුරුද්ද යනකොට ඔන්න බොස් නංගි කියලා ලස්සන කෙල්ලෙක් කාමරේ ඇතුළට දාගත්තා කියයි"

"ඉතින් දැනුත් කියනවා ඇත්තෙ එහෙමනෙ"

"දැන් ඉතින් ඔය කියන එකක් කියලා හිතන එකක් හිතාගත්තාවෙ. තව ටික දවසකින් ඔයා මගේ නංගි කියලා දැනගන්න ලැබුණම උන්ට උන්ගෙම කටවල් මිරිකා ගන්ඩ හිතෙයි"

"අනේ මන්දා. වෙලාවකට ඔයා කියන ඒවා මට තේරෙන්නෑ"

"ඔයා කියන කරන ඒවා වෙලාවකට මටත් තේරෙන්නෑනෙ. ඒක නිසා දැන් යමු" කියාගෙන මගේ මේසය මත වූ මෝටර් රථයේ යතුර අතට ගත් ඔහු දොරෙන් පිටවිය. ජංගම දුරකතනය අත් බෑගය තුලට ඔබාගෙන මා ඔහු පිටුපසින් එනවිටත් ඔහු සිටියේ තරප්පු පෙලේ මැදකය. ආයතන ප්රධානියා පිටුපසින් අවේලාවේ කාර්යාලයෙන් නික්මෙන මා දෙසට නෙත් කිහිපයක්ම යොමුව තිබුණත් වෙනදා මෙන් මට ඒ ගැන හිත හිතා වදවෙන්නට උවමනාවක් නොවීය.

නිවසට පැමිණි ලොකු අයියා නිදාසිටි දියණිය දෙස ටික වේලාවක් බලා සිට ඇගේ හිස සිප නැගිට්ටේ උරහිස වටා අත යවා මා ළංකර ගනිමිනි.

"මේ කෙල්ලයි ඔයයි මට වෙනසක් නෑ චූටි මැණික.රෝසපාට බෝනික්කියෙක් වගේ ඔයා ගෙදරට ගේනකොට මං පහේ ශිෂ්යත්වෙට ලියලා ගෙදර ආවා විතරයි. දෝණි ඉපදුන වෙලාවෙ මට දැනුනෙත් එදා මට දැනුන සතුටමයි. ඔයාව මතක් වෙන්න තමයි මං දෝණිට විනුලි භාග්යා කියලා නම තිව්වෙත්"

"මං දන්නවා ලොකු අයියා. වෙලාවකට මටත් ඔයාව දැනෙන්නෙ අප්පච්චි කෙනෙක් වගේ තමයි"

"එහෙනං අප්පච්චියෙක් වගේ ඉන්න ලොකු අයියට කියන්න බැරි දෙයක් ඔයාගෙ හිතේ තියෙන්න බෑ. එහෙම නේද"

"එහෙම දෙයක් නෑ ලොකු අයියා"

"මට බොරු කරන්ඩ ලෑස්ති වෙන්ඩ එපා චූටි මැණික.මං ඔය වයස පහුකරලයි මෙතෙන්ට ආවෙ"

මුණිවත රැකීමට වඩා යමක් ඔහු මගෙන් බලාපොරොත්තු වන බව ඒ නොරිස්සුම් සහගත වදන් තුල කැටිව තිබුණි. එහෙත් මටමවත් හිතාගන්නට නොහැකි ලෙස නටඹුන්ව ගිය ආදරණීය මතකයක් ඔහු ඉදිරියෙ දිගාරින්නේ කෙසේද?

"ඔය තරං කල්පනා කරන්නෙ මොනාද චූටි මැණික. මං හිතන්නෑ මාත් එක්ක කියන්න බැරි තරං දෙයක් ඔයා ඔයාගෙ ජීවිතේට කරගෙන ඇති කියලා"

"අයියා දැන් යන්න. මං ඔයාට හෙට හැමදේම කියන්නං"

" කියන්නෙ කියන්ඩ දෙයක් තියෙනවා කියන එකනෙ. කමක් නෑ මෙච්චර කල් හිටිය එකේ මං හෙට වෙනකල් ඉවසන්නං"

"ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි. අයියා ඒ ගැන හිතන්නැතුව දැන් යන්න"

"මං යසාට කියාගෙන යන්නම් දෝණි නැගිට්ටම එයා ළඟ තියාගන්න කියලා. ඔළුව රිදෙනවනම් ඔයා ටිකක් නිදාගන්න. මං ගිහින් එන්නම්" මහිස සිපගත් ඔහු නික්ම ගියේ පිටටද තට්ටුවක් දමමිනි.

නෑමෙන් පසු තෙත කොණ්ඩය පිසිමින්ම මා ඇදට ගියේ සමීර ගැන අලුත් වූ මතකයෙනි. ගෙවී ගිය සිව් වසර තුළ ඔහු ළඟ ගෙවුන සෑම තත්පරයක්ම පාහේ අදටත් මගේ මතකයේ තියෙන්නේ නැවුම් අත්දැකීමක් ලෙසය.


හත්වෙනි කොටස මෙතනින්

8 comments:

  1. හප්පා.. හයවෙනි කොටසත් ලිව්වට පස්සෙ තමා ඔන්න කියවන්න හම්බුණේ.. මේ ළමයා ගෙදරක නෙමේ හිරගෙදරකනේ ජීවත් වෙලා තියෙන්නෙ. බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා.

    ඔන්න ඊළඟ කොටස ඉක්මණට ඕනේ.. නැත්තං මං නරක මිනිහා කියන්නෙපා.අකුණු සහිත වැසි වස්සවනවා..!!

    ReplyDelete
    Replies
    1. වැසි දැරිය,
      එහෙම පුළුවන්නං මං මේක ලියන එක නතර කරලම හරි දාන්නංකො. අනේ නරක මිනිහා නෙවෙයි හොද දැරිවි වගේ වැස්ස ටිකක් වස්සවන්නකො මේ දවස්වල ගිනි පිටවෙනවා වගේ රස්නෙයි

      Delete
  2. හොඳට ලියනවා අක්කි. මේක නිසා කුතුහලේ ඇවිස්සෙනව නේ!
    වෙනද හැමදාම ඇවිත් සද්ද නැතුව කියවල යන්නෙ, හැමදාම එහෙම කරන්න හොඳ නැති නිසා අද කොමෙන්ට් එකක් දැම්ම.
    මමත් ඉන්නේ ඔයා ඉන්න රටේ තමයි. ඔයා වගේම, රස්නෙන් රස්නෙන් එපා වෙලා ඉන්නෙ. හිටපු ගමන් වහිනවා හැබැයි මෙහෙට.. නිකම් පොදක් වගේ.
    තිසිස් එකටත් විශ් කරනවා, මේ කතාව තරම්ම හොඳට තිසිස් එකත් සාර්ථක වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! නංගි.

      ඔයා ගැන මට වතාවක් මහේෂ් හරි මනෝජ් මල්ලි හරි කිව්වා බවක් මතකයි.

      අයියෝ රස්නෙ ගැනනං කතා කරලා වැඩක් නෑ. මං මේ අගෝස්තු ඉවර වෙන්නෙ කොයි වෙලේද කියලා බල බලා ඉන්නෙ. දැන් ඉතින් පවන් ගගහා පාරෙ ඇවිදින කාලෙ එන්නෙ.ඒකයි වැසි දැරිවිට කියලවත් වැස්ස වස්සවගන්න බැලුවෙ

      තීසිස් එකනං දැන් බොහෝදුරට ඉවරයි. 27 ට කලින් දෙන්න ඕනි. කතාවත් ඒ වෙනකොට ඉවර කරන්නයි බලන්නෙ

      Delete
  3. ඇත්තටම සමීරට මක්කෙයි උනේ? භාග්‍යා ඩිග්‍රිය කම්ප්ලීට් කරාද? අර අකවුන්ටන් කෝ?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අයියෝ මේ ගස් ලබ්බට තියෙන ප්‍රශ්ණ.

      පළවෙනි ප්‍රශ්ණෙට උත්තරේ ඔය ඉස්සරහට කියවනකොට හම්බෙයි.

      දෙවෙනි එකට උත්තරේ මේ කතාව පටන් ගත්ත තැනම තිබ්බා. ඔයා ඉතිං සිහියෙන් කියවලා නෑ.

      එකවුන්ටන්ට් ඇති ඔෆිස් එකේ. අයියා බොස් නිසා මේ ළමයා වේලපහ ගෙදර ආවට අනිත් මිනිස්සු වැඩ ඇරෙනකල් ඉන්න එපැයි.

      Delete
  4. ඔය තීසිස් එකත් ඉවර වෙන්න ළඟ එකේ, භාගිගෙන්, සමිරව වෙන් කරන්නෙපා සඳා...

    ReplyDelete
    Replies
    1. පොකුරු,
      දැන් ඔය ප්‍රේම කතාවයි මගෙ තීසිස් එකයි අතර තියෙන සම්බන්දෙ මොකක්ද?

      ඔයාගෙ කමෙන්ට් එක දැකලා මට හිනාව නවත්තාගන්න බැරි වුණා. මොකද දන්නවද මේකෙ පස්වෙනි කොටස කියවලා මගේ ගෝලයෙක් ඉල්ලීමක් කරලා තිබ්බා "භාග්‍යාට දුකක්නං දෙන්න එපා මිස්" කියලා. ඔයත් ඉතිං නොකියා කියන්නෙ එහෙම එකක්නෙ නේද?.
      ඔය වගේ ජොලි කමෙන්ට් ගොඩක් තියෙනවා. එක්කෙනෙක් කියලා තිබ්බා "අනේ අක්කෙ ඔයා මේ කැම්පස් හරිය ඉක්මනට ඉවර කරන්න එපා හොදේ" කියලා.

      Delete