Wednesday, July 27, 2016

උරුමය - දොළොස්වන කොටස


පළවෙනි කොටස මෙතනින්
"අම්මෝ ඇති. අන්න ලොකූ ආවා. දැන් තමයි මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ" ජනේලය දෙස බලාසිටි අරුණෝද්යා එක්වරම එසේ කියා මා අසලට පැමිණ "ඔයාව දැක්කම ලොකූට තවත් දුක හිතෙයිද දන්නෑ. ලොකූ කිය කියා හිටියෙ මාමට බෙහෙත් ගන්න කොළඹ යන වෙලාවක එක්ක ගිහින් ඔයාව පෙන්නන ඕනි කියලා" කියා මගේ උරහිස මත සුරත තැබීය. මා සමීර දෙස බලද්දී ඔහු එය නුදුටු අයුරින් නළල පිරිමදිමින් සිටියේ මුහුණ අඳුරු කරගෙනය.

"අපි ඇත්තටම ජනකගෙ අයියව දැක්කෙ නෑ නේද?. දැනුයි මතක් වුණෙත්" කියමින් පවනිද ජනේලයෙන් එපිට බැලුවේ ඔහුව දුර තියා හඳුනාගන්නට මෙනි.

"පොඩීටත් වඩා මේ වෙලාවෙ ලොකූ අසරණයි. පොඩීටනං ඔයාලා ඉන්නවා. මං ඉන්නවා. ලොකූට කවුරුත් නෑ. යාළුවෝ වුණත් දැන් බැඳලා එහෙ මෙහෙ ඉස්සර වගේ නෑනෙ"

"අයියා බැඳලා නේද?. මට මතකයි ජනකයා අක්කා ප්රෙග්නන්ට් කතාවකුත් කිව්වා" එතෙක් නිහඬවම සිටි සමීර එසේ අසන්නට ඇත්තේ අරුණෝද්යාගේ කතාවේ වූ අපහැදිලිතාවය නිසාය.

"පොඩී ඔයාලට විස්තර කිව්වෙ නැද්ද" පුදුමයෙන් මෙන් සමීර දෙස බැලූ අරුණෝද්යා එසේ අසා අප සියල්ලන් දෙසම යළිත් වරක් බලා "දිල්නි අක්කට අමාරු වෙලා අද පාන්දර තමයි හොස්පිටල් ඇඩ්මිට් කරලා තියෙන්නෙ. ලොකූ බබා ලැබෙනකල්ම ළඟ ඉදලා උදේ ආපහු හොස්පිටල් එකෙන් එන්න හදනකොට තමයි මාමට අමාරුයි කියලා කෝල් එක ඇවිත් තියෙන්නෙ. තාම දිල්නි අක්කා දන්නෑ මාමා නැති වුණා කියලා. ඒකයි ලොකූ සැරින් සැරේ ගිහින් බලලා එන්නෙ" මගේ දෑසට නැවතත් කඳුළු පිරෙමින් තිබුණි. එහා පස උන් පවනි මගේ අත මිරිකාගෙනම නැඟිට්ටේ තවදුරටත් එතන රැදී සිටීම ඇයටද අපහසු බව අඟවමිනි.

ජනක ඇතුළු ඔවුන්ගේ මුළු පවුලම දරුණු ඛේදවාචකයකට මුහුණ පා ඇති බව දැනසිටියත් ඔහු මෙන්ම ඔහුගේ මවද මා කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වීම මට කරදරයක් වූයෙන් මම හැකිතාක් ඔවුන් මඟහැර සිටින්නට උත්සහ කළෙමි. මගේ අපහසුතාවය තේරුම්ගෙන සිටි පවනිද මට සහය දැක්වූවාය. රාත්රී එකොළහ දොළහ වනවිට එතෙක් නිවසේ මෙන්ම මිදුලේ තැන තැන සිටි පිරිස් ක්‍රමයෙන් අඩුවන්නට පටන් ගත්තේය. ඇතැම් අය ආපසු නිවෙස් බලා ගිය අතර නෑදෑ හිත මිතුරන් ඉඩ ඇති ආකාරයෙන් නිදිසුව විදින්නට පටන්ගෙන තිබුණි.

"නිදිමතයි බං. දැන් තේ බොන්න මොකෙක්වත් ඇහැරලත් නැති එකේ අපි අරුන් ටිකට තේ වඩියක් ගිහින් දීලම නිදාගමු" මනූජා අවසන් තේ බන්දේසිය අතට ගත්තේ වරක් පිටි අත්ලින් දෑස් පිස දැමීමෙන් පසුය.

සරසවියෙන් පැමිණි ගැහැණු ළමුන් සියල්ලන්ම මෙන් වනවිට නිදාසිටි අතර අවදියෙන් සිටියේ කාඩ් සෙල්ලම් කරමින් සිටි පිරිමි ළමුන් පමණි. අප තේ රැගෙන එනවිට සමීරගේ මිතුරන් කාඩ් සෙල්ලමේ යෙදී සිටියද ඔහු පෙනෙන්නට නොසිටි නිසා මහිතට දැනුනේ පාළුවකි. එන අතර මගදී සිදු වූ හිත් අමනාපයෙන් පසු ඔහු මා සමග කතා කළේද උවමනා දේකට පමණි. දහරා කෙරෙහි ඇති වූ ඊර්ෂ්යාව නිසාම ඔහුව සියුම් ලෙස කොනිත්තා බලන්නට සිතට මෝඩ සිතුවිල්ල ගැන ඒ වනවිටත් මට දැනෙමින් තිබුණේ ලැජ්ජාවක් සහ කේන්තියකි.

"මොනාද උඹ ඔය ඇස් කරකවා කරකවා හොයන්නෙ. අන්න ලොකු තැන සාලෙ. මං හිතන්නෙ බුරුත කොටයක්ද කොහෙද ඉරනවා" කියූ මනූජා මගේ අතින් ඇදගෙන විත් යුගල පුටුවක දිග ඇදී සමීර නිදාගෙන සිටින අයුරු පෙන්නුවාය.

ඔහු නිදාසිටි අයුරු දකිද්දී දුව ගොස් මා අතින් සිදුවූ සිත් රිදවීමට සමාව ඉල්ලා එකම එක විනාඩියක් උරමත හිස තබා දෙනෙත් පියාගන්නට සිතට බොළඳ සිතුවිල්ල යටපත් කරගන්නට මට බොහෝ වෙහෙසක් දරන්නට සිදු විය.

"මොකෝ බලං ඉන්නෙ. එයා උඹටත් ඉඩ ටිකක් තියාගෙනද කොහෙද නිදන් තියෙන්නෙ. ඕන්නං පලයං අපි ලයිට් ඕෆ් කරගෙන යන්නං" මා අත ඔසවනවාත් සමගම මනූජා ඉවතට පැන්නේ හිනාවීගෙනය.

"මනූ....මේ කාමරේ අපි තුන්දෙනාට රිංගාගන්න ඉඩ ටිකක් තියෙනවා" කියමින් පවනි කාමරයක දොර රෙද්ද මෑත් කර අපට කතා කළේ එවෙලෙහිය. මනූජා පසුපසින් ගොස් මමත් කාමරයට එබුනේ පැයක් දෙකක් හෝ නිදාගැනීමේ අපේක්ෂාවෙනි.

"මොකෝ කල්පනාව" මනූජා මගේ උරහිසට තට්ටුවක් දැම්මේ මගේ සිත තුල එවෙලෙහි පෙරලි කරමින් තිබූ ප්රශ්ණ සියල්ලම නිවරදිව හඳුනාගෙනය. බිත්ති අල්මාරියක් සහ ඇදක් පමණක් තිබූ කුඩා කාමරයේ ඇද උඩ මෙන්ම බිමද කිහිප දෙනෙකුම නිදා සිටියේ හිසට කොට්ටයක් හෝ නැතිවය.

"මෙතන නිදාගන්නෙ කොහොමද මනූ"

"දැන් එතකොට උඹ හිතා හිටියෙ අපි මෙච්චර කල් මළගෙවල් වල ගිහින් නිදාගත්තෙ සැපට ඇදන් උඩ කොට්ට මෙට්ට එක්ක කියලද. මේ… විකාර නැතුව ඔය නිදා ඉන්න මිනිස්සු පාගන්නැතුව වරෙන් යන්න පැයක් දෙකක්වත් ඇහැ පියාගන්න"

අප්පච්චී  මළ ගෙවල් වල යාමට එතෙක් අවසර නොදීම ගැන මට මුල් වරට සතුටක් දැනුනේ එවෙලෙහිය. නන්නාදුනන පිරිසක් මැද එකට ගුලිවී නිදාගැනීම මට එදා දැනුනේ නිරුවතින් මහපාරේ ඇවිද යාමකටත් වඩා දුෂ්කර කටයුත්තක් ලෙසය.

"භාග්යා" නොසිතූ මොහොතක ඇසුන සමීරගේ හඬට මා තිගැස්සුනද මනූජා සිටියේ ඔහු මට කතා කරන බව දැන සිටියාක් වැනි සමච්චල් සිනාවක් මුවෙහි තබාගෙනය.

"අන්න කතා කරනවා උකුළෙ තියන් නිදිකරන්නද කොහෙද. පලයන් ඉතින්" ඇගේ අත කොනිත්තාගෙන මා සමීර උන් තැනට ආවේ ඔහු තවත් වරක් කතා කළ පසුය. පවනි හෝ මනූජා දෙදෙනාගෙන් එක් අයෙකු හෝ මා සමග එතැයි අපේක්ෂාවක් තිබුණද ඔවුන් දෙදෙනාම ඇඟිලි තුඩගින් ඉස්සි ඉස්සී නිදා සිටි අය නොපෑගෙන ලෙස කාමරය කෙළවරක තිබූ කුඩා ඉඩ දෙසට ඇවිද ගියේ කිසිදාක මට මා කෙරෙහි නොදැනුන අනුකම්පාවක්ද දනවමිනි.

"ඇයි නිදාගන්න ඉඩ නැද්ද?. නැත්තං ඉඩ තියෙන තැන නිදාගන්න බෑ වගේද " මගේ මුහුණේ ඇති කණස්සලු ස්වභාවයට හේතුවක් අනුමාන කරමින්ම සමීර එලෙස ඇසුවේ මා ඔහු  අසලින් අසුන් ගන්නවාත් සමගය. මගෙන් පිළිතුරක් නොලද පසු ඔහු සිනාසෙමින්ම උන් තැනින් නැගිට්ටේමේ පුටුවට ඇවිත් ටිකක් නිදාගන්න. එළිවෙනකල් ඇහැරලා ඉන්න බෑනෙ” කියමිනි.

වෙනත් විකල්පයක් නොමැති නිසා හෝ ඔහු අසල රැදෙන්නට තිබූ කැමැත්ත නිසා මම එතෙක් ඔහු අසුන්ගෙන සිටි තැනම අසුන්ගෙන දෙනෙත් පියාගත්තේ යළි කිසි දිනෙක මෙවන් ගමනක් නොපැමිණිය යුතු බවට මටම අවවාද කරගනිමිනි.

"හොද වෙලාවට අප්පච්චි දූ කුමාරිව මළ ගෙවල්වල එවන්නැත්තෙ"  මා දෙනෙත් හැරියේ අමනාපයෙන් වුවත් සමීරගේ මුහුණේ තිබුණේ හඬේ වූ සරදමට කිසිසේත්ම නොගැලපෙන හැඟීම් ගොන්නකි.

"සොරි. මට ඒක කලින් අමතක වුණා" ඒත් සමගම ඔහු පශ්චත්තාපී ස්වරයකින් පැවසූයේ කුමක්දැයි මට එක්වරම වටහා ගත නොහැකි විය.

"මොකද්ද අමතක වුණේ....මාව මළ ගෙවල්වල එවන්නෑ කියලද"

" නෑ ….කලින් මතක් වුණානම් මට ඔයාලව ටිකක් රෑ වෙන්න ඇරලා අපේ නැන්දලාගෙ ගෙදරට ගිහින් ඇරලවන්න තිබ්බ. නැන්දා මේ කිට්ටුවක ඉන්නෙ"

"ඒකට කමක් නෑ"

"දවල් ඉදලම මගේ ඔළුවෙ වැඩ කරේ වෙන ප්රශ්ණයක්. නැත්තන් කීයටවත් මට ඒක අමතක වෙන්නෑ"

"අයියෝ ඒකට කමක් නෑ. කොහොමත් මට නිදිමතක් නෑ"

"ඔයා කලින් මෙහෙම මළ ගෙදරක ඇවිත් නෑ නේද?. ඇත්තටම මෙහෙ මේ තව හොදයි. සමහර තැන්වල ගියාම බීපු මිනිස්සුයි තව එක එක විදිහෙ මිනිස්සුයි. මට මතකයි අපි ෆර්ස්ට් ඉයර් එකේදි මෙහෙම මළ ගෙදරක නැවතිලා කෙල්ලො ටික රෑ වෙනකොට පුටු තියාගෙන අපේ වටේ. අන්තිමට උන්ට ටොයිලට් එකට එහෙම යන්න ඕනි වුණාමත් අපිට පස්සෙන් යන්න වුණා."

සරසවි සිසුන් අතර වූ සහෝදර බැඳීම් වල ශක්තිමත් භාවයත් එහි අපූර්වත්වයත්  වනවිට අත්විද තිබි නිසාම මට අවස්ථාව සිතින් මවාගැනීම දුෂ්කර නොවීය.

"ඔයා දැන් ටිකක් නිදාගන්ඩ බලන්න"

"අයියා ඔතන ඉන්නවද"

"ඇයි මං මෙතන ඉද්දි නිදාගන්න බයද"

"අනේ නෑ. එහෙම එකක් හිතලා නෙවෙයි මං ඇහුවෙ"

"එහෙනං?  ඔයා මෙතන තනියම  නිදාගෙන ඉද්දි මං නැඟිටලා යයි කියලා බයද" මා හිස දෙපසට සොලවමින්ම පුටු ඇන්ද මත තබාගත් අත උඩ හිස තබාගත්තේ වෙනදාට හඬේ තැවරෙන මෘදු බව යළි අත්විදින්නට නොලැබෙන බව සිතමිනි. එහෙත් සිතුවිල්ලේ ඉන්නට සිදු වූයේ තත්පර තිහ හතලිහක් පමණි.

මගේ අත මත තබාගෙන සිටි කම්මුලට එක්වරම දැනුන නුහුරු උණුසුමට මා හිස ඔසවන්නට තැත් කළද ඔහු අනෙක් අතින් මගේ හිස යළිත් සිය අත්ල මතට තද කරගත්තේ "ඔහොම නිදාගන්න" කියා කොඳුරමිනි. තත්පර කටුව කී වාරයක් කැරකුනාදැයි මට මතක තිබුණේ නැත. සුව පහසු තොටිල්ලක සැතපී දේදුණු සිහින අතරේ පාවෙමින් උන් මා සිහිනයෙන් අවදි වූයේත්, මා නිදාසිටින්නෙ සමීරගේ සුරතේ අත්ල මත හිස තබාගෙන බව සිහි වූයේත් "දැන් විශ්වාසයි නේද මං මගේ ඇඟේ කෑල්ලක් දාලා කීයටවත් යන්නෑ  කියලා" කියමින් ඔහු වමතින් මහිස පිරිමදින විටය. එවර ඔහුගේ පෙරැත්තය නොසලකමින් හිස ඔසවාගත් මා පුටුවට හේත්තු වී දෑස් පියාගත්තේ දුකත් පසුතැවිල්ලත් අතර දෝලනය වෙමින් තිබූ හැඟීම කඳුළකට පෙරලෙනවාට ඇති බියෙනි.

"ඔය තරහා වෙලාද" මම දෑස් නෑරම හිස දෙපසට සෙලව්වෙමි.

"එහෙනං"

"මට දුකයි. එහෙම  අවිශ්වාසයක් තිබ්බනං එළිවෙනකල් ඇහැරලා හිටියත් මං කීයටවත් මෙතන නිදාගන්නෑ"

"මං කිව්වෙ නිදාගත්තු එක ගැනම නෙවෙයි" මා දෑස් හැරියේ එවිටය.

"අවිශ්වාසෙ, සැකේ, ඉරිසියාව ඉවසිල්ලක් නැති කම අපි හැමෝ ළඟම තියෙනවා. නිසා ඒක ඔයයි මායි අතරෙ විතරක් නැති වෙන්නෑ" එවර මා ඔහු දෙස හොඳින් හිස හරවා බැලුවෙමි.

"මං කියන්නෙ බොරුද" ඔහු මගේ ඇස් දෙකට එබෙමින් ඇසුවේ ගැඹුරු හඬකිනි

"මට ඉරිසියා හිතිලා නෑ කියලා මං බොරු කියන්නෑ. ඒත් මං කවදාවත් අයියව අවිශ්වාස කරේවත් සැක කරේවත් නෑ"

"එහෙනං හිටියා වගේ තව පුංචි කාලයක් විශ්වාසෙ එහෙමම තියාගෙන ඉන්නවා කියලා මට පොරොන්දු වෙනවද" අසමින් ඔහු සුරත දිගු කළේත් ඒ මත මා සුරත තබන්නට හැදුවේත් අරුණෝද්යා ගෙට ඇතුලු වූයේත් එක්වරය.

"මං ඩිස්ටර්බ් කළාද දන්නෑ" කියමින්ම පැමිණි ඇය මා අසුන්ගෙන සිටි පුටුවේ ඉඩ තිබියදීම  සමීරට යාබද අසුන තවත් ඔහු දෙසට ළංකරගනිමින් වාඩි වූයේ මා නොසන්සුන් කරවමිනි. මුලින්ම දුටු මොහොතේ සමීර පුදුමයෙන් මෙන් දෙස බැලූ අයුරුත් ඔයා හරි ෂෝක් සමීර අයියා කියමින් ඇය වරක් සමීරට ඇගේ සිතේ ඇති කැමැත්ත ප්රසිද්ධියේම ප්රකාශ කළ අයුරුත් මගේ හිතේ හොල්මන් කරන්නට පටන් ගනිද්දී සමීර මොහොතකට පෙර කියූ කිසිවක්  මතකයේ නොතිබුණි. කට කොණකට නැගෙන සිනහව වලකා ගන්නට මහත් වෙහෙසක් දරමින් සමීර ඈතක් බලා ගන්නට ඇත්තේ මගේ මුහුණේ ඇති වෙනස වටහාගෙනය.

"ඔන්න ලොකූ එනවා. එයාට ඔයත් එක්ක කතා කරන්න ඕනි කිව්වා" කියමින් අරුණෝද්යා මා දෙස බලා කාඩ් සෙල්ලමෙහි යෙදී සිටින අංජනලාට මොනවදෝ කියමින් ගේ ඇතුලට එන ජනකගේ අයියා දෙස බැලුවාය. තවත් මොහොතකින් අප අසලට අයියා මා ළඟින්ම අසුන් ගත්තේ මගේ හිස් මුදුනට අත්ල තබා එහෙ මෙහෙ කරමින් "නිදිමතද" අසමිනි. මට ලොකු අයියාව සිහි වුණි. අවුරුදු ගණනාවකට එපිටදී අහිමි වූ දැරියක දෙස බලන අයුරින්  මා දෙස බලා මහිස පිරිමැදි ලොකු අයියාගේ සෙනෙහසේ අඩුව මට හරියටම සිහිපත් වූයේ  එවෙලෙහිය.

"අයියත් එක්ක කතා කරන්න කියලා හිටියට බැරි උනා. ඉස්සෙල්ලා අයියගෙ යාළුවො ටික හිටියා. පස්සෙ බලනකොට අයියා හිටියෙ නෑ" අයියලාගේ ආදරයට මා ලොබ බදින තරමත් ගැන විටින් විට විස්සෝප වන තරමත් හොදින් දැන සිටි සමීර මගේ සිතැඟි වටහාගෙන මෙන් කතාවට මුලු පිරුවේය.

"මං ආපහු හොස්පිටල් එකට ගියා. දිලූ හවසත් ඇහුවා ඇයි අම්මා ආවෙ නැත්තෙ කියලා. ගෙදරට කට්ටිය එනකොට අම්මයි මමයි දෙන්නම නැතුව හරි නැති නිසා ටිකක් රෑ වෙනකල් ඉදලා අපි මේ දැන් අම්මව හොස්පිටල් එක්ක ගිහින් ආවෙ" කියා අත් ඔරලෝසුව දෙස බැලූ ඔහු නැවතත් මා දෙසට හැරී "නංගිට නිදිමතද" ඇසුවේය.

"එහෙම නිදිමතක් නෑ අයියෙ. තාම එකයිනෙ" මගේ මුහුණ දෙස බලා දිගු සුසුමක් හෙලූ ඔහු පුටු ඇන්ද මත අත දිගහැර තබා යටි තොල විකාගත්තේය.

නිදාගන්නට ගිය මනූජා අයියගේ හඬට හෝ වෙනත් හේතුවක් නිසා ආපසු පැමිණ අරුණෝද්යා අසලින් අසුන් ගත්තේ අයියා කතාවට මුල පුරනවාත් සමගය.

"මේ ජීවිතේ මහ පුදුමාකාර දෙයක්. එක දෙයක් ලැබෙනකොට තව දෙයක්  නැති වෙනවා.  මං තාත්තා කෙනෙක් වෙනකොට මගේ තාත්තා නැති වෙලා. මං කොච්චර ආසාවෙන්ද තාත්තට පණිවිඩේ කියන්න ආවෙ. ඇක්සිඩන්ට් එකෙන් පස්සෙම තාත්තට හරියකට සිහියක් තිබ්බෙ නෑ. හිනාවෙන්නෙ අඬන්නෙ කතා කරන්නෙ මොකුත් නෑ.  ඒත් මං දිලූව බැඳලා ගෙදර එක්ක ආව දවසෙ තාත්තා ළඟට ගිහින් තාත්තගෙ ඇද උඩින් වාඩි වෙලා දිලූ ගැන කිව්වම  තාත්තා දිලූගෙයි මගෙයි අත්දෙක අල්ලගෙන බලන් හිටියා. කතාකරගන්න බැරි වුණාට වෙලාවෙ තාත්තගෙ ඇස්වල තිබ්බෙ හිනාවක්. මට මගේ මැරේජ් එකට ලැබුණ වටිනාම ආශිර්වාදෙ ඒක. මං අද උදෙත් ගෙදර එන්න ලෑස්ති වුණේ තාත්තට දුව ගැන කියන්න. දුවව ගෙදර ගෙනත් තත්තගෙ මූණෙන් ආපහු හිනාව බලන්න මං වගේම දිලුත් බලන් හිටියා"  කියූ ඔහු දෑතින් මුහුණ වසාගත්තේ මගේ දෑසද තෙත් කරවමිනි. කිසිවක් කතාකරගත නොහැකිව මෙන් සිටි සමීර මා දෙස දුක්මුසු බැල්මක් හෙලීය.

"ඔයා භාග්යාවත් ඇඬෙව්වා ලොකූ" කියා අරුණෝද්යා නෝක්කාඩු කියද්දී ජනකගේ සොයුරා පුටු ඇන්ද මත තබාගෙන සිටි අත එසවී මගේ හිස මත නතර විය.  සමීර මෙන්ම අරුණෝද්යා සහ මනූජාත් තුෂ්නිම්භූතවී බලා සිටියා මිස ඔහුගේ හිත හැදෙන්නට හෝ පැවතුන මූසල නිහඬතාවය බිද දමන්නට කිසිදු උත්හයක් නොගත්හ.

"ඔයා අපේ නංගි වගේ කියලා මල්ලි නිතරම කියන නිසා මං හිතන් හිටීයෙ තාත්තා කොළඹ එක්ක ගිය වෙලාවක ඔයාව බලන්න එන්න. තාත්තට ෂොක් එකක් වුණේ ඇක්සිඩන්ට් එකද නංගි නැතිවෙච්ච එකද කියලා හරියට දන්නැති නිසා මට හිතුනා තාත්තට ඔයාව පෙන්නලා බලන්න. ඒත් අම්මා කැමති වුණේ නෑ ඔයාලගෙ ගෙදරින් අහන්නැතුව ඒක කරන්න"

ඔහු තවත් මොනවා හෝ කියමින් සිටියත් මට කිසිවක් ඇසුනේ නැත. මොහොතකට පෙර මා සුවපහසුවට හිස තබාගෙන සිටි අත්ල වැරෙන් ගුලිවන හැටිත් සමීරගේ මුහුණේ මස්පිඩු සෙලවෙන හැටිත් නෙත් කොණකට අසු වූ මොහොතේ පටන් මා සිටියේ නොසන්සුන්වය.

"නිදිමතද" මා ඔහුගේ කතාවට සවන් නොදෙන බව තේරුම්ගත් මොහොතේ ජනකගේ අයියා නැවත වරක් මහිස පිරිමැද්දේ එසේ අසමිනි.

"නෑ අයියෙ"

" ඔයාලට මල්ලි කියන්න ඇතිනෙ අපෙ තාත්තා ඉස්සරම කරපු රස්සාව  පත්තර විකුණුව එක කියලා"

"ඔව්. ජනක තාත්තා ගැන ගොඩාක් විස්තර කිව්වා"

"අපේ අම්මයි තාත්තයි ගැන සමහර විස්තර මාත් දැනගත්තෙ අද. මේ චුට්ටකට ඉස්සෙල්ලා හොස්පිටල් ඉදලා එනකොට" කියා දිගු සුසුමක් හෙලූ ඔහු යලි කතාව පටන් ගන්නට පෙර මොහොතක් කල්පනා කළේය.

"අපෙ අම්මගෙ ගෙවල් තිබිලා තියෙන්නෙ මාවනැල්ලෙ. තාත්තා තමයි ඒ පැත්තෙ පත්තර විකුණලා තියෙන්නෙ. අම්මට ඉදලා තියෙන්නෙ අයියා කෙනෙක් විතරයි. තාත්තයි අයියයි දෙන්නම ගොඩක් සැරයිලු. අපේ අම්මා තාත්තත් එක්ක  ඇවිත් තියෙන්නෙ ගෙදරට හොරෙන්.  මාමගෙ වයිෆ් ට බබා ලැබෙන්න හොස්පිටල් ඇඩ්මිට් කරන්න ගෙදර සේරම ගිය වෙලාවක තමයි අම්මා ගෙදරින් ඇවිත් තියෙන්නෙ. සීයා සැර නිසා කාලයක් ඔය අනුරාධපුර පැත්තෙ හැංගිලා වගේ ඉදලා පස්සෙ තමා මෙහෙට ඇවිත් තියෙන්නෙ. පස්සෙ කාලෙක අම්මා ගෙදර ගැන හෙව්වට මොකුත් විස්තරයක් හොයාගන්න බැරි වෙලා. එහෙ කවුරුත් ඉදලා නෑ. ඒ නිසා අපිට කවදාවත් අම්මගෙ පැත්තෙ නෑයො ඉදලා නෑ " ඔහු මොකක්දෝ ලොකු කතාවකට මුල පුරන්නට යන බව තේරුණද මට එය අනුමාන කළ නොහැකි විය.

“දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියලා එකක් අහලා තිබ්බට මට ඒක හරියටම තේරුණේ අද. අපෙ අම්මා ගෙදරින් ගිහින් කියලා දැනගත්තු වෙලාවෙ අම්මගෙ අම්මා නැති වෙලා හාට් ඇටෑක් එකකින්. පස්සෙ මාමා සීයත් එක්කම වෙන රටක පදිංචියට ගිහිල්ලා. අම්මා ඔය විස්තර මොකුත් කලින් දැනන් ඉදලා නෑ. මල්ලි බාරදෙන්න කැම්පස් ගිය දවසෙ නංගිලාගෙ අම්මගෙන් තමයි ඔය විස්තර අම්මා දැනගෙන තියෙන්නෙ" මම ඔහු දෙස බැලුවෙ පුදුමෙනි.

"ඔයාගෙ අම්මයි අපෙ අම්මයි ඉගෙනගෙන තියෙන්නෙ එකට"

"ඒක තමයි. මට පුදුම හිතුනා අම්මා එදා අයියලාගෙ අම්මත් එක්ක කතා කරපු හැටියට. අපෙ අම්මා එහෙම ලේසියෙන් කෙනෙක් එක්ක තරං හිතවත් වෙන්නෑ"

"අම්මා හොදටම අඬනවා. අම්මා දෙමව්පියන්ට දුන්නු ගින්දර ආපහු අම්මටම පත්තු වුණා කියලා. මට බලන් ඉන්න බැරි තැන මං මේ ආවෙ" කියමින් නැඟිට ගත් ජනකගේ අයියා මා ඉදිරියෙන් සිටගෙන හිස මත අත තබා එහා පස උන් තිදෙනා දෙසද බැලුවේ  "මං මේක කියන්නෙ ඔයාට විතරක් නෙවෙයි, ඔයාලා ඔක්කොටම. කවදාවත් දෙමව්පියො දුක් මහන්සියෙන් හදන කූඩුව හැඩි කරලා දාලා අලුත් කූඩු හදන්න හිතන්නවත් එපාකියමිනි.

"අද ඉදලා මාත් දුවෙක් ඉන්න තාත්තා කෙනෙක්" කියා යන්නට ගිය ඔහු හදිස්සියේ යමක් මතක් වූ ලෙස නැවතී කලිසම් සාක්කුවට අත දමා මොකක්දෝ එළියට ගෙන එය අරුණෝද්යාට දිගු කළේය.

"මොකක්ද"

"අපේ රූම් එකේ කී එක. හදිස්සියේ හරි දිලූ තාත්තා ගැන දැනගෙන එන්න ඕනි කිව්වොත් කියලා බයට මං රූම් එක ලොක් කරලා තිව්වෙ. දැන් ඉතින් බයක් වෙන්න දෙයක් නෑනෙ. ඔයා මේ නංගිලත් එක්ක ගිහින් ඒකෙ නිදාගන්න" කියූ ඔහු සමීරගේ උරහිසට තට්ටුවක් දමා එළියට ගියේය.

ඔහු යනතෙක්ම බලා සිටි අරුණෝද්යා අප දෙස බැලුවේ "මට දුවලා ගිහින් ලොකූට කිස් එකක් දීලා එන්ඩ හිතෙනවා" කියමිනි.

"ඇයි නිදාගන්න යන්න කිව්වටද"

"නැත්තං. අපේ ගෙදර ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ. කරවල වේලෙන්න දාලා වගේ" කියා සිනාසුන ඇය "යං. කෝ පවනි" අසාගෙනම උඩුමහලට යන තරප්පු පෙල වෙත ගියාය. මනූජා පවනි නිදා සිටි කාමරය දෙසට යද්දී සමීර  මගේ අත අල්ලා වරක් ඔහුගේ කම්මුලේ  අතුල්ලාගෙනම නිදහස් කළේ "යන්න දැන් ගිහින් හොදට නිදාගන්න" කියමිනි.

මාස ගනනාවකට පසුව වුවත් ස්පර්ශයේ සුවය මට අදටත් විදිහටම මතකය. මා දෙනෙත් තදකර පියාගත්තේ නිදිසුවයට පෙර ස්පර්ශයේ සුවය ලබන්නටය.

නිදාගත්තේ වෙනදාට වඩා අඩු කාලයක් වුවත් පසුදා උදෑසන මා අවදි වූයේ ප්රබෝධයෙනි. එහෙත් කාර්යාලයට යාමට සූදානම් වීම දුෂ්කර කටයුත්තක් ලෙස දැනුනේ පෙරදින මැද තැබූ සාරිය අතට ගත් පසුය. හොදින් හැඳ පැළඳගත් කළ ඕනෑම යුවතියකගේ හිතට දැනෙන අභිමානය කැඩපත ඉදිරියේ සිටගත් මගේ සිතටද එලෙසම දැනුනද අතීත මතකයන් මට ඒ සතුට විද ගන්නට ඉඩ දුන්නේ නැත. උදෑසන ආහාරය සදහා මා කැඳවන්නට කාමරයට එබුන යසවතී  මා දෙස බලා සිටියේ මගේ මුහුණේ ඇති හැඟීම හරියටම තේරුම් ගතහැකිදැයි බලන්නට මෙනි.

"ඇයි යසා"

"චූටි මැණිකෙ මොකක් ඇන්දත් ලස්සනයි. ඒත් අද සාරියට ගොඩක් ලස්සනයි. මං හිතන්නෙ පාට නිසා වෙන්නැති"

"මං හිතන්නෙ යසාගෙ ඇස් පේනවා අඩුවෙලා වෙන්නැති" කියා සිනාසෙමින්ම පනාව කණ්නාඩි මේසය මතින් තැබූ මා යසවතීට පෙර කාමරයෙන් එලියට ආවේ ඇය තවත් යමක් කියන්නට පෙරය.

"මගෙ ඇස් තාම හොදට පේනවා චූටි මැණිකෙ. ඇත්තමයි දැන් චූටි මැණිකෙ නුගවෙල සුදු මැණිකෙටත් වඩා ලස්සනයි"

යසවතී මගෙ පිටුපසින් තරප්පු පෙළ බැස්සේ එසේ කියමිනි. අම්මාගේ එකම නැගෙණිය වූ සුදු පුංචම්මා රූපයෙන් වඩාත් සමානකමක් දැක්වූයේ ලොකු අම්මාටය. මගේ හැඩරුවද වඩාත් ආසන්න වන්නේ අම්මාට වඩා ඒ නුදුටු ලොකු අම්මාට බව කිහිප විටක් අසා තිබුණද පවුලේ වැඩි පෙනුම ඇති තැනැත්තිය වූ සුදු පුංචම්මාට වඩා මා රූමත් බව ඇසීම මසිතට ආඩම්බරයක් විය.

කෑම මේසයට වාඩි වී මා එනතෙක් බලාසිටි ලොකු අයියා පුදුමයෙන් මෙන් මා දෙස බලා සිට  "අලුත් සාරියක්ද චූටි මැණික" ඇසුවේය.

"ලස්සනයි නේද අප්පච්චි. මං තමයි තේරුවෙ" මට පෙර පිළිතුරු ලැබුණේ දියණියගෙනි.  ඇයත් මාත් දෙස මාරුවෙන් මාරුවට බැලූ ලොකු අයියා "දෙන්නා කොයි වෙලාවෙද මටත් නොකියා ෂොපිං කරේ" ඇසුවේය.

"මේක පරණ සාරියක් අයියෙ. දෝණි ඊයෙ ඇද උඩ නැඟලනෙ හොයල දුන්නෙ. ඒකයි ඔය කියන්නෙ"

"ඒක මිසක්. මං ඒත් බය වුණා. ඇත්තටම සාරිය ඔයාට ලස්සනයි චූටි මැණික"

කාර්යාලයට ඇතුළු වූ විටම දෙදෙනෙකුම සාරිය වර්ණනා කරන්නට පටන් ගත් පසු ඔවුන් කියන කිසිවක් නෑසුන පරිදි කාමරයට ගිය ලොකු අයියා මා මගේ අසුන වෙත එනවිට හිස සිට දෙපතුලටම තියුණු බැල්මක් හෙලීය.

"ඇයි ලොකු අයියා"

"මට හිතෙනවා මගේ අම්මා ඔයා වගේ ඉන්න ඇති කියලා. අද උදේ ඔයාව දැක්ක වෙලාවෙ ඉදලම මට මතක් වෙන්නෙ අම්මව"

"ඔන්න ඉතින් උදේ පාන්දර දුක හිතෙන කතාවක් ඇදලා ගන්ඩ හදන්නෙ"

"අම්මා මතක් වුණාට මට දැන් එහෙම දුක හිතෙන්නෑ චූටි මැණික" කියා සිනාසුන ඔහු ලිපිගොනුවක් පෙරලා ගත් පසු පරිගණකය ඉදිරියෙන් අසුන්ගත් මම විද්යුත් තැපෑලෙන් ලැබී ඇති පණිවිඩ පිරික්සන්නට පටන් ගත්තෙමි. නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමක් වන මෙම ආයතනයට විදෙස් රටවල සිටින පාරිභෝගිකයින්ගෙන් දිනපතාම පාහේ පණිවිඩ ලැබෙන නිසා එය මගේ රාජකාරියේ මූලිකම අංගයක් විය.

උදෑසන නවය වනවිට කිහිප වරක්ම අත් ඔරලෝසුව දෙස බැලූ ලොකු අයියා තරමක් නොසන්සුන්ව දුරකතන ඇමතුමක් ගැනීමට සූදානම් වනවාත් සමගම එය නාදවිය. ඇමතුමට සම්බන්ද වීමට පෙර මා දෙස බැලූ ඔහු "කවුරු හරි දොරට තට්ටු කරොත් ඇතුළට ගන්ඩ" කියමින්ම රිසිවරය කණ තබාගත්තේය.  මුලින් තරමක් සෙමින් කතා කරන්නට පටන්ගත් ඔහු එක්වරම හඬ නගා සිනාසෙන්නට පටන් ගත්තේ මා දෙසද බලමිනි. ඉන්පසු නැවතත් සංයමයකින් ඇහුම්කන් දී මොන මොනවදෝ කියූ ඔහු පෑනක් අතට ගෙන කොල කැබැල්ලක කිසිවක් සටහන් කර ඇමතුම විසන්ධි කළේ "වෙඩිං එක කවද්ද ජනවාරිද?. මතක ඇතුව මට ටිකක් කලින් කියන්න මේක වහලා හරි සති තුන හතරක නිවාඩුවක් හදාදෙන්න" කියමිනි. මා ඇස් ලොකු කරමින් ඔහු දෙස බලද්දී සිනාසෙමින්ම සිය අසුනින් නැගිටගත් ඔහු මා අසලට ආවේත් පිටත සිටි කිසිවෙකු ඇතුළට එන්නට අවසර ඉල්ලමින් දොරට තට්ටු කළේත් එකවරය.

 

12 comments:

  1. අපිව මල ගෙදර දාල මෙයා ඔෆිස් ඇවිත්. ඔය සමීරගෙ වෙඩිම ද ඈ? නැත්නම් තට්ටු කරල එන්න හදන්නෙ සමීර ද? තව ටිකක් වෙලා ජනකගෙ අයිය හිටියනම් පොඩි වලියකුත් බලාගන්ඩ තිබ්බ.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මං ඔයාලවත් ඔෆිස් එකට එක්ක ආවා.

      ඒකනෙ කසුන් මං වලියට කලින් එයාව යැව්වෙ

      Delete
  2. මං මේ මතක් කරා විතරයි කතාව අද තවම නෑ කියල.

    ReplyDelete
    Replies
    1. සතියෙ දවස් පහේ මැනේජ් කරගන්න අමාරුයි කසුන්. ඒ නිසා ලියලා ඉවර වෙන වෙන වෙලාවට තමා පෝස්ට් කෙරෙන්නෙ

      Delete
  3. අද පෝස්ටුව පරක්කු ඇයි බැලුවා...

    ආ ඒකනේ භාග්‍යාව ජනකට බලලා ගන්න බාර දීලා තියෙන්නේ... මේ වෙඩිම භාග්‍යාට මොකක්හරි බලපෑමක් කරයි වගේ දැනෙනවා... බලමුකෝ...

    ReplyDelete
    Replies
    1. දෙමව්පියොම නරින්ට කිකිළියො බාර දෙන වෙලාවලුත් තියෙනවා නේද?

      Delete
  4. දොරෙන් එන්නේ අකවුන්ට ද? නැත්තම් වෙනකෙනෙක්ද?
    අද පැණයට පිළිතුරු තැපැල්පත් වල පමණක් ලියා කැමති ලිපිනයකට තැපැල් කරන්න.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මට ඔච්චර තැපැල්පත් ගන්න සල්ලි නෑ ගස්. ඒ නිසා මං ඒ පැණයට පිළිතුර බ්ලොග් පෝස්ට් එකක ලියලා හෙට වෙනකොට පෝස්ට් කරන්නං. ඕ යේස්

      Delete
  5. කාගේ වෙඩින් එකද...ඒක තමයි මට ඇතිවුන කුතුහලය...

    ReplyDelete
    Replies
    1. පොකුරු,

      මගේ නං නෙවෙයි ඕං

      Delete
  6. බලපුවම මමයි පරක්කුවෙලා තියෙන්නෙ කියවගන්න වේලාවක් නෑ අප්පා.මේ කොටසෙ කොයිල් ගතිය හොඳටම වැඩිවුණා. නෑ නෑ ඒක ඔයාගෙ වරදක් නෙවෙයි මගේ මොංගල් කම. ඊළඟ කෑල්ලෙන්වත් ගොඩ යන්න පුළුවන් වේවිද කියල බලමුකො.

    ReplyDelete
    Replies
    1. ඊළඟ කෑල්ලෙන් ගොඩ යන්න බැරි වෙලා තව ටිකක් කොයිල් වුණොත් කියන්නකො.....මං ගිනිකූරක් පත්තු කරන්න

      Delete